හිටපු රාජ්‍ය ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතාගේ නඩුව කල් යයි
චීන ජාතිකයෙකු සතුව තිබූ රුපියල් කෝටි දෙකක මුදලක් පැහැරගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතාගේ පුත්‍රයා ඇතුළු සැකකරුවන් පස්දෙනාට එරෙහිව පවරා ඇති නඩුව ලබන නොවැම්බර් මස 25 වනදා යළි කැඳවීමට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (30) නියෝග කළේය.
සිද්ධියට අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදී මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබා දුන්නේය.
මංකොල්ලකෑමට අදාළව සැකකරුවන් සිදුකර ඇති සාකච්ඡා ඇතුළත් සී.සී.ටී.වී. (CCTV) දර්ශන වැඩිදුර විමර්ශන සඳහා රජයේ රසපරීක්ෂකවරයා වෙත යොමුකර ඇති බව විමර්ශන නිලධාරීහු මෙහිදී අධිකරණයට දැනුම් දුන්හ.
හිටපු රාජ්‍ය අමාත්‍යවරයාගේ පුතෙකු වන අනුද ජනාදින් සමරකෝන් බණ්ඩාර ඇතුළු අදාළ සැකකරුවන් පස්දෙනා මීට පෙර රක්ෂිත බන්ධනාගාරගත කර සිට දැනට ඇප මත මුදාහැර සිටිති.