ලංකාවෙන්ම විතරක් හමුවන අලුත්ම ශාකය "කිතුල්ගල කූඩලු"! කිතුල්ගලින් හමු වූ විද්‍යාව පවා මවිත කළ සොයාගැනීම

By Kanchana Sep 30, 2026 08:00 AM GMT
Report

කෑගල්ල දිස්ත්‍රික්කයේ කිතුල්ගල පිහිටි මන්නකැත්ත ඇල්ල පරිසර පද්ධතියෙන් ශ්‍රී ලංකාවට ආවේණික නව ශාක විශේෂයක් පර්යේෂකයන් විසින් හඳුනාගෙන තිබේ. Impatiens yakandawalarum ලෙස විද්‍යාත්මකව නම් කර ඇති මෙම නව ශාක විශේෂය ‘බෝල්සම්’ (Balsam) ශාක කුලයට අයත් වේ.

එයට ඉංග්‍රීසි භාෂාවෙන් “Kithulgala Balsam” ලෙසත්, සිංහල භාෂාවෙන් “කිතුල්ගල කූඩලු” ලෙසත් පොදු නම් ලබා දී තිබේ. මෙම නව සොයාගැනීමේ ආරම්භය සිදුවී ඇත්තේ සලානි ගුණරත්න විසින් එම ප්‍රදේශයේ සිදු කළ සංචාරයකදී ලබාගත් ඡායාරූප කිහිපයක් හරහාය. එම ඡායාරූප නිරීක්ෂණය කළ පර්යේෂක පේෂල පාසන් කරුණාරත්න, මෙම ශාකය සහ ඊට සමාන ලක්ෂණ සහිත Impatiens janthina විශේෂය අතර වෙනස්කම් හඳුනාගෙන තිබේ.

ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පර්යේෂක භාතිය ගොපල්ලව වෙත යොමු කිරීමෙන් අනතුරුව, සිදු කළ ක්ෂේත්‍ර පරීක්ෂණ මගින් මෙම ශාකය මීට පෙර විද්‍යාත්මකව විස්තර කර නොතිබූ නව විශේෂයක් බව තහවුරු කරගෙන ඇත. මෙම නව ශාක විශේෂය හඳුනාගැනීමට උපකාර වූ සුවිශේෂී ලක්ෂණයක් වන්නේ බොහෝ Impatiens විශේෂවල දක්නට ලැබෙන නලයක හැඩැති උල් කොටසක් හෙවත් ‘ස්පර්’ (spur) නොමැති වීමයි.

ඒ වෙනුවට මෙම ශාකයේ ‘උල් රහිත මල් පැණි ග්‍රන්ථියක්’ (ecalcarate nectary) දක්නට ලැබේ. පාසිවලින් වැසුණු තෙත් පාෂාණ මතුපිට සහ ගස් මුල් ආශ්‍රිතව වර්ධනය වන මෙම ශාකය සෙන්ටිමීටර 2ක පමණ විෂ්කම්භයකින් යුත් තද රෝස පැහැති මල් හටගන්වයි. මෙම සොයාගැනීමත් සමඟ ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති Impatiens ශාක විශේෂ සංඛ්‍යාව 28ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අඩුයි කිව්වට මෙච්චර අඩුයි කියලා කවුද හිතුවේ - අද පොරකකා ගන්න එන රන් මිල ගණන්

අඩුයි කිව්වට මෙච්චර අඩුයි කියලා කවුද හිතුවේ - අද පොරකකා ගන්න එන රන් මිල ගණන්

ඉන් විශේෂ 19ක් ශ්‍රී ලංකාවට ආවේණික විශේෂ වීමද විශේෂත්වයකි. සාමාජිකයන් පස් දෙනෙකුගෙන් සමන්විත පර්යේෂණ කණ්ඩායමක් විසින් සිදු කළ මෙම අධ්‍යයනයේ සොයාගැනීම් ඇතුළත් පර්යේෂණ වාර්තාව 2026 සැප්තැම්බර් 30 වැනිදා Ceylon Journal of Science සඟරාවේ පළ කර තිබේ. දුර්ලභ සහ ආවේණික ශාක විශේෂ ආරක්ෂා කර ගැනීම සඳහා ඒවා වාසය කරන ස්වාභාවික පරිසර පද්ධති සංරක්ෂණය කිරීමේ වැදගත්කමද මෙම සොයාගැනීම හරහා පර්යේෂකයන් අවධාරණය කර තිබේ.

GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery