මිල වැඩි කළ ලාෆ්ස් ගෑස් සමාගමට රජයෙන් විශේෂ නියෝගයක් - හෙට වෙන්න යන දේ මෙන්න
ලාෆ්ස් ගෑස් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා එම සමාගමේ නිලධාරීන් හෙට (16) පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත කැඳවා තිබේ.
විවිධ පිරිවැය පෙන්වා ගෑස් මිල ඉහළ දැමීම සහ ඒවායේ පවතින අනුකූලතාව සම්බන්ධයෙන් විමසා බැලීම මෙහිදී සිදු කෙරෙන බව එම අධිකාරිය ප්‍රකාශ කළේය. මේ අතර, ලාෆ්ස් ගෑස් මිල වැඩි කිරීම පිළිබඳ ප්‍රශ්නය භාරගැනීමට රජය සූදානම් බව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.
ගෑස් මිල විශාල වශයෙන් වැඩි වීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඊයේ අයවැය විවාදය අතරතුර යොමු කළ ප්‍රශ්නයත් සමඟ ඇති වූ විවාදාත්මක අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ගෑස් සැපයුම යථාවත් නොකිරීම සම්බන්ධයෙන් එම සමාගමට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට ද පසුගියදා රජය කටයුතු කළ පසුබිමක, පෙරේදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් මිල වැඩි කිරීමට එම සමාගම තීරණය කළේය.
ඒ අනුව රුපියල් 4,965ක්ව පැවති කිලෝග්‍රෑම් 12.5 ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,775කින් ඉහළ දැමූ අතර එහි නව මිල රුපියල් 6,740ක් වේ. එමෙන්ම රුපියල් 1,988ක්ව පැවති කිලෝග්‍රෑම් 5 ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 732කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 2,720කි.
කෙසේ වෙතත්, ලාෆ්ස් ගෑස් මිල වැඩි කිරීමට හේතු වූයේ ලෝක වෙළෙඳපොළේ මිල වැඩිවීම, නැව් ගාස්තු ඉහළ යෑම, රක්ෂණ ගාස්තු ඉහළ යෑම සහ විදේශ විනිමය උච්චාවචනය වීම බව ලාෆ්ස් ගෑස් සමාගමේ අධ්‍යක්ෂ ප්‍රධාන විධායක නිලධාරී නලින්ද කුරුකුලසූරිය මහතා ප්‍රකාශ කළේය.
ඊයේ කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ මිල වැඩි කළ ද එය අසාධාරණ මිල වැඩි කිරීමක් නොවන බවයි