බස් රියදුරන්, කොන්දොස්තරලා පාර වසා විරෝධතා…

By Sewvandhi Nov 15, 2021 05:48 AM GMT
Sewvandhi

Sewvandhi

Report

හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ නොර්වුඩ් සිට බගවන්තලාව කැම්පියන් නගරය දක්වා මාර්ගය කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කිරිමේ කටයුතුකඩිනම් කරන ලෙස බල කරමින් එම මාර්ගයේ ධාවනය කරන පෞද්ගලික බස් රථ රියදුරන් , කොන්දොස්තරවරුන් ඇතුළු විශාල පිරිසක් එම මාර්ගය ටින්සින් නගරයෙන් අවහිර කරමින් (14) දින උද්ඝෝෂණයක නිරත විය.

නොර්වුඩ් මාර්ග සංවර්ධන අධිකාරි කාර්යාලයේ අධික්ෂණය යටතේ නොර්වුඩ් සිට බගවන්තලාව කැම්පියන් නගරය දක්වා කිලෝමිටර් 15.5 ක දුරක් මංතිරු දෙකක් වශයෙන් කාපට් අතුරා ප්‍රතිසංස්කරණ කිරිමේ කටයුතු පෞද්ගලික කොන්ත්‍රාත් සමාගමක් විසින් සිදු කරනු ලබයි.

කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කිරිමේ කොන්ත්‍රාත්තුව ලබාගෙන ඇති පෞද්ගලික සමාගමක් විසින් එම මාර්ගයේ කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කිරිමේ කටයුතු මිට වසරකට පමණ ප්‍රථම ආරම්භ කර මේ දිනවල එම ප්‍රතිසංස්කරණ කටයුතු ඉතා මන්දගාමිව සිදු කිරිම නිසා එම මාර්ගයේ විශාල වලවල් හැරි ඇති බවත්, පවත්නා තත්ත්වය මත එම මාර්ගයේ රථ වාහන ධාවනය කිරිමේදි තම වාහන වල නිරන්තරයෙන් කාර්මික දෝෂ ඇති වන බවත්, ඒ තුලින් බස් රථ ඇතුළු අනෙකුත් වාහන වල ගමන් ගන්නා මගින්ගේ ජිවතවලට පවා අවධානමක් පවතින බවයි උද්ඝෝෂණයේ නියැලි සිටි පිරිස කියා සිටියේ.

මාර්ගය කාපට් අතුරා ප්‍රතිසංස්කරණ කර දෙන තෙක් දැනට පවතින වැසි තත්ත්වය හේතුවෙන් දැඩි ලෙස අබලන් වි විශාල වලවල් හැරි ඇති එම මාර්ගයේ ඇතැම් ස්ථාන තාවකාලිකව ප්‍රතිසංස්කරණය කරන ලෙසද උද්ඝෝෂණයේ නියැලි සිටි එම මාර්ගයේ ගමන් ගන්නා පෞද්ගලික බස් රථ ඇතුළු වාහන වල රියදුරන් සහ මගි ජනතාව ඉල්ලා සිටියි.

උද්ඝෝෂණය හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමනය විනාඩි 15 ක් පමණ සම්පුර්ණයෙන්ම ඇණ හිට තිබුණි. අප මේ සම්බන්ධයෙන් නොර්වුඩ් මාර්ග සංවර්ධන අධිකාරි කාර්යාලයේ විධායක ඉංජිනේරු කේ.ඩි.රංග දේවප්‍රිය මහතා කල විමසුමකට ඔහු කියා සිටියේ පසුගිය මාස කිහිපය තුල බගවන්තලාව ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් එම මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු අඩාලව සිදු වු බවයි.

මේ මස අවසන් විමට ප්‍රථම නොර්වුඩ් සිට බගවන්තලාව දක්වා කිලෝමිටර් 7 දුර ප්‍රමාණයක් සම්පුර්ණයෙන්ම කාපට් අතුරා ප්‍රතිසංස්කරණ කර දිමට කොන්ත්‍රාත් සමාගම විසින් පොරොන්දු වි ඇති බවත් , මේ පිලිබදව තම විශේෂ අවධානය යොමු වි ඇති බවයි විධායක ඉංජිනේරුවරයා කියා සිටියේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW