කොවිඩ් එන්නත ගැන ජනපතිගෙන් විශේෂ නියෝගයක්.
බූස්ටර් එන්නත ඉදිරි සතිදෙක තුළ ලබාදී අවසන් කරන්නැයි ජනාධිපතිවරයා විසින් අදාළ අංශවලට උපදෙස් දී තිබේ.
ඒ අනුව එළඹෙන උත්සව සමයේදී කොවිඩ් ව්‍යාප්තිය පාලනය සඳහා අධි මාත්‍රා එන්නත හෙවත් බූස්ටර් එන්නත ලබාදීමට අපේක්ෂා කෙරේ.
කොවිඩ් මර්දන විශේෂ කමිටුව සමග අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කරනු ලැබීය.
දෙවන මාත්‍රාව ද ලබාගෙන මාස 03ක් සම්පූර්ණ කළ සියලුදෙනා අධි මාත්‍රාව ලබාගැනීමට සුදුසුකම් සපුරන බවද මෙහිදී අවධාරණය කෙරිණි.
ඒ අනුව එන්නත ලබාදෙන ඕනෑම ස්ථානයකින් හෙට (11) සිට දිනපතා අධි මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ගැනීමට අවස්ථාව සැලසේ.
සිදුකළ නිරීක්ෂණයන්ට අනුව මේ දිනවල වාර්තා වන කොවිඩ් ආසාදිතයන්ගෙන් ඉහළ ප්‍රතිශතය එන්නත නොගත් අය වන අතර, ඉන් බහුතරය තරුණ පිරිස බව සෞඛ්‍ය අංශ නිලධාරීන් පෙන්වා දී තිබේ.
කොවිඩ් ආසාදිතව අසාධ්‍යවීම සහ මරණ සංඛ්‍යාව අවම කරගැනීමට එන්නත ලබාගැනීම අනිවාර්යයෙන් සිදුවිය යුතු බවද මෙහිදී අවධාරණය විය.
මේ පිළිබඳ තරුණ පිරිස් දැනුවත් කර, කඩිනමින් එන්නත ලබාදීමට පියවර ගන්නැයි ද ජනාධිපතිවරයා උපදෙස් දෙනු ලැබීය.
මේ අතර කොවිඩ් ව්‍යාප්තිය වැළැක්වීමට එන්නත නොගත් පිරිසට පොදු ස්ථානවලට ඇතුළුවීම වැළැක්වීම සඳහා මේ වනවිට නීති උපදෙස් ගෙන තිබේ.
එය සැලකිල්ලට ගෙන, ඉදිරියේ දී පොදු ස්ථානවලට ඇතුළුවීමේදී එන්නත් කාඩ්පත අනිවාර්යය කිරීමට කොවිඩ් කමිටුව අද තීරණය කළේය.
වයස අවුරුදු 16 – 19ත් අතර දරුවන්ට දෙවන මාත්‍රාව සහ 12 – 15ත් අතර සියලු දරුවන්ට පළමු මාත්‍රාව ලබාදීමට අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය සමග සැලසුම් කොට එන්නත ලබාදීමට කඩිනමින් කටයුතු කරන්නැයි ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.
විදෙස් සංචාරකයන්ගේ පැමිණීම ඉහළ ගොස් ඇති නිසාත් ගුවන් සමාගම් ගුවන් ගමන් වාර සංඛ්‍යාව වැඩිකර ඇති බවත් මෙම රැස්වීමේදී අනාවරණය විය.
ඒ අනුව සංචාරක ව්‍යාපාරයේ පවතින ප්‍රවර්ධනය සැලකිල්ලට ගෙන, පනවා ඇති සීමා තවදුරටත් ලිහිල් කිරීමට පියවර ගන්නා ලෙසද ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ.