අසම්පූර්ණ විමර්ශන ගොනු එවන්න එපා - නීතිපති පොලිසියට කියයි
නීතිපති උපදෙස් පතා අසම්පූර්ණ විමර්ශන ගොනු නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු නොකරන ලෙස නීතිපතිවරයා පොලිසියට උපදෙස් දී තිබේ.
ආන්දෝලනාත්මක සිද්ධීන් ඇතුළු බරපතළ අපරාධ සහ මහා පරිමාණ වංචා දූෂණ සම්බන්ධයෙන් අසම්පූර්ණ විමර්ශන ගොනු යොමු කිරීම නිසා නීතිපති උපදෙස් දීමට දිගු කාලයක් ගතවීම සලකා බලා මෙම උපදෙස් දී ඇත.
නීතිපති, ජනාධිපති නීතිඥ පාරින්ද රණසිංහ විසින් පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් කැඳවා මෙම උපදෙස් ලබාදී ඇතැයි නීතිපති දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
‘‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ විවිධ පොලිස් ස්ථාන මගින් නීතිපති උපදෙස් පතා විමර්ශන ගොනු යොමු කෙරේ. නමුත් එම ගොනුවලින් බොහෝමයක අඩුපාඩු රැසක් දක්නට ලැබේ. එවැනි අවස්ථාවලදී අදාළ අඩුපාඩු කඩිනමින් සම්පූර්ණ කර එවන ලෙස පොලිසියට උපදෙස් දෙනවා. එයටද කාලයක් ගත වෙනවා. ගොනුවල අසම්පූර්ණභාවය නිසා නීතිපති උපදෙස් දීම ප්‍රමාද වෙනවා’’
යැයි නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසීය.
මෙම ප්‍රමාදය නිසා අධිකරණ මගින් නීතිපතිවරයා වෙත සිහි කැඳවීම් ලිපි රැසක් යොමු වී ඇති බවද නීතිපති දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.