වැලිගම සභාපති ඝාතනයට 9 දෙනෙකුට මාංචු
මේ වනවිට වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා සිය කාර්යාලයේදී වෙඩි තබා ඝාතනය කිරීමට අදාළ සිද්ධියේ වෙඩික්කරු , පැදිකරු ඇතුළු සැකකරුවන් 9 දෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ අනුව මෙම ඝාතනයට සම්බන්ධ වෙඩික්කරු , යතුරුපැදිකරු , වෙඩික්කරුගේ බිරිඳ , කැකිරාවේදී සැඟව සිටීමට ආධාර අනුබල දුන් අයෙක් , බොරැල්ල සහස්පුර ප්‍රදේශයේදී වෙඩික්කරුට සහාය දුන් පුද්ගලයින් දෙදෙනෙක් ඇතුළු සැකකරුවන් 6දෙනෙක් මේ වනවිටත් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාස යේ අත් අඩංගුවේ ඇත.
මෙම ඝාතන සිද්ධියට අදාළව, වෙඩික්කරුට ඝාතනයට පෙර සහ පසු ප්‍රවාහන පහසුකම් සපයමින්හය දුන් ගාල්ල අගුළුගහ පදිංචි ත්‍රීරෝද රථ රියදුරෙකු, ඝාතනයට යොදාගත් යතුරුපැදිය ධාවනයට සුදුසු ආකාරයට අලුත්වැඩියාව කර දුන් වලානේ ගරාජ් හිමිකරු, සහ එම යතුරුපැදිය ඝාතකයින්ට ගෙනවිත් දුන් පොල්අතුමෝදර පදිංචි තරුණයෙකු වැලිගම සහ මාතර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සැකකරුවන් අතර මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ අත්අඩංගුවේ පසුවන වෙඩික්කරු සහ අනෙක් සැකකරුවන් පිරිස ඊයේ පස්වරුවේ අධිකරණ වෛද්‍ය නිලධාරියෙකු වෙත ඉදිරිපත් කරන ලදී.
ඊට අනුව, මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අත්අඩංගුවේ තබා සිටින වෙඩික්කරු සහ යතුරුපැදිකරු ඇතුළු සැකකරුවන් හය දෙනා පැය 72ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර ලබා ඇත.
එසේම, වෙඩික්කරුට ප්‍රවාහන පහසුකම් සහ ආධාර ලබාදුන් බවට සැකකරුවන් තිදෙනා ,මාතර සහ ගාල්ලේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් ඊයේ මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණි.
එහිදී වැලිගම මූලස්ථාන පොලීසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ, සැකකරුවන් තිදෙනාගෙන් තවත් ප්‍රශ්න කිරීම් අවශ්‍ය බව පවසා ඒ සඳහා අවසර ලබා දෙන ලෙසය.
එම ඉල්ලීම සලකා බැලූ මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් චතුර දිසානායක මහතා, සැකකරුවන් තිදෙනා පැය 48ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසියට අවසර ලබා දී තිබේ.