පාසල් ආරම්භ කරන දිනය සෞඛ්‍ය ඇමති දැනුම් දේ

By Sewvandhi Sep 15, 2021 12:58 PM GMT
Sewvandhi

Sewvandhi

Report

සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ ඉතා කඩිනමින් පාසල් යළි ආරම්භ කිරීම පිළිබඳ අවධානය යොමුවී තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යංශයේ අද පැවති සාකච්ඡාවකදී තීරණය වී ඇත්තේ පාසල් ආරම්භ කිරීම පිළිබඳ ප්‍රතිපත්තිමය තීන්දුව ගැනීම අධ්‍යාපන අමාත්‍යංශයටත් ඒ හා සම්බන්ධ සෞඛ්‍යමය නීති රීති හා මාර්ගෝපදේශ සම්පාදනය කිරීම සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ සිදු කිරීමටයි.

සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීන් මෙන්ම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන් පිරිසක් ද එක්ව තිබෙනවා.

මෙරට පාසල් පද්ධතියේ ළමුන් 200ට අඩු පාසල් 5000ක් පමණ වන අතර එම පාසල් කඩිනමින් ආරම්භ කිරීමටයි අපේක්ෂා කෙරෙන්නේ. ඒ අනුව පෙර පාසල් සහ 6 වන ශ්‍රේණිය දක්වා වූ පාසල් ද මූලිකව ආරම්භ කිරීමට අවධානය යොමුවී තිබෙනවා.

එලෙස පාසල් ආරම්භ කිරීමේ දින වකවානු තීරණය කිරීම අධ්‍යාපන අමාත්‍යංශය මගින් සිදු කෙරෙන අතර ඒ අනුව ඉදිරි සති දෙක හෝ තුන තුළදී පාසල් ආරම්භ කිරීම කෙරෙහි මෙම සාකච්ඡාවේදී අවධානය යොමුවූ බවයි සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කළේ.

මේවන විට පාසල් ගුරුවරුන් අනධ්‍යන කාර්ය මණ්ඩල පූර්ණ එන්නත්කරණයට ලක්කර තිබෙනවා. ඊට අමතරව මේවන විටත් එන්නත්කරණය කර නොමැති පාසල් ප්‍රවාහන සේවාවන්වල නිරත සියලුදෙනා කඩිනමින් පූර්ණ එන්නත්කරණයට ලක් කිරීමට පියවර ගන්නා බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශකර ඇත්තේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now