ගර්භනී රෝහල් සේවිකාවන්ගෙන් දැඩි චෝදනාවක්
කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කෙරෙන රෝහලක් ලෙස නම්කර ඇති නැගෙනහිර කොළඹ මූලික රෝහලේ සේවය කරන ගර්භණී සෞඛ්‍ය නිලධාරිනියන්ට පවතින අවදානම නොතකා සේවය කිරීමට සිදුව ඇති බව වාර්තා වේ.
එම රෝහලේ මේ වනවිට ගර්භණී සෞඛ්‍ය නිලධාරිනියන් 15 දෙනෙකු පමණ සිටී. එම නිලධාරිනියන් සඳහන් කළේ දිවයිනේ බොහෝ රෝහල් පවතින අවදානම මත ගර්භණී නිලධාරිනියන්ට නිවාඩු ලබාදීමට පියවර ගෙන ඇති බවය.
නමුත් නැගෙනහිර කොළඹ මූලික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත කරුණාරත්න මහතා සිය රෝහලේ සේවය කරන ගර්භණී නිලධාරිනියන්ට එලෙස නිවාඩු ලබාදීමට නොහැකි බව දන්වා ඇත.
ඊට හේතුව ලෙස ඔහු පෙන්වා දී ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා එවැනි තීරණයක් ක්‍රියාත්මක කරන ලෙසට දන්වා නොතිබීමය.
එවන් පසුබිමක් තුළ නැගෙනහිර කොළඹ මූලික රෝහලේ සේවය කරන ගර්භණී නිලධාරිනියන් සිය පෞද්ගලික නිවාඩු දමා සේවයට වාර්තා නොකර සිටින අතර මේ සඳහා ස්ථීර විසඳුමක් ලබාදෙන ලෙස ඔවුන් ඉල්ලා සිටී.
මේ සම්බන්ධයෙන් නැගෙනහිර කොළඹ මූලික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත කරුණාරත්න මහතාගෙන් විමසීමක් කළේය. එහිදී ඔහු සඳහන් කළේ, "ගර්භණී නිලධාරිනියන්ට නිවාඩු ලබාදෙන්න කියලා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් දැනුම්දීමක් කර තිබුණා.
ඒක සෞඛ්‍ය සේවයටත් අදාළ ද කියලා මම සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විමසීමක් කළා. නමුත් මට තාම පිළිතුරක් ලැබුණේ නෑ. ඒ නිසා මම ගර්භණී නිලධාරිනියන්ට දැනුම් දුන්නේ මේ අවස්ථාවේ සිය පෞද්ගලික නිවාඩු ලබා ගන්න කියලා.
නමුත් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් කළ දැනුම්දීම සෞඛ්‍ය නිලධාරිනියන්ට අදාළ නෑ කියලා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දැනුම් දුන්නොත් ඒක ප්‍රශ්නයක් වෙයි." යනුවෙනි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |