සූරියවැවේදී පොලිස් විශේෂ කාර්ය බලකාය සමග වෙඩි හුවමාරුවක්..අපරාධකරුවෙක් මරුට..

Sri Lanka Police Shooting Death Gun Shooting
By Aruna Feb 28, 2024 01:33 AM GMT
Aruna

Aruna

Report

සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අතර වෙඩි හුවමාරුවක් සූරියවැව ප්‍රදේශයේදී සිදුව තිබෙන බව වාර්තා වනවා.

මෙම වෙඩි හුවමාරුවෙන් මිය ගොස් ඇත්තේ, මහබාගේ ප්‍රදේශයේ මස් කඩහිමිකරුවෙකු ඝාතනය කිරීමේ සිදුවීමට සහ තවත් අපරාධ රැසකට අවශ්‍යව සිටි හිටපු හමුදා සෙබළෙක් බවයි පැවසෙන්නේ.

මියගිය පුද්ගලයා සුරියවැව ප්‍රදේශයේ ආඩිගම වැව අසල වාඩියක සැඟවී සිටින බවට ලද බුද්ධි තොරතුරක් මත අද (28) අලුයම ක්ෂණික වැටලීමක් සිදුකර තිබේ.

එහිදී සැකකරු විසින් ගිනිඅවියකින් නිලධාරීන්ට වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති අතර, එයට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේ දී සැකකරු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

පසුව සැකකරුව සුරියවැව රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් තිබේ.

වෙඩි හුවමාරුවෙන් විශේෂ කාර්ය බළකායේ නිලධාරියෙකු ද තුවාල ලබා තිබෙන බවයි වාර්තා වන්නේ.

මෙම සැකකරු පසුගිය අගෝස්තු 8 වන දින වැල්ලම්පිටිය, කිත්තම්පහුම ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට වෙඩිතැබීම, ජුනි 17 වනදා මීටියාගොඩ, සීනිගම දේවාලය අසල විදුර නැමති සංවිධානාත්මක අපරාධකරුගේ මස්සිනා වන දුලාජ් යන අයට කොස්ගොඩ සුජී නැමැති සංවිධානාත්මක අපරාධකරුගේ මෙහෙයවීමෙන් වෙඩිතබා ඝාතනය කිරීමට තැත් කිරීම යන සිද්ධි සම්බන්ධයෙන් ද චෝදනා එල්ල වී තිබූ අයෙකි.

ඔහු දකුණු කණුමුල්දෙණිය, මීඇල්ල ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි අයෙක් වන අතර, සැකකරු සන්තකයේ තිබී රිවෝලර් වර්ගයේ ගිනිඅවියක් සහ යතුරුපැදියක්ද අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර, පසුගිය 21 වනදා උදෑසන යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් වෙඩිතැබීමක් සිදුකර තිබූ අතර එහිදී මස් කඩහිමිකරු වන 42 හැවිරිදි ජා ඇළ උතුරු බටගම ප්‍රදේශයේ පදිංචි දොන් සුජිත් හෙවත් උකුක්වා නැමැත්තා ජීවිතක්ෂයට පත්වුණා.

පොලිස් විශේෂ කාර්ය බළකාය සමග ඇති වූ ගැටුමකින් මියගොස් ඇත්තේ, අදාළ ඝාතනය සඳහා යතුරුපැදිකරු ලෙස ක්‍රියාකළ පුද්ගලයා බවටයි හඳුනා ගෙන ඇත්තේ.

ඝාතනයට ලක් වූ උක්කුවා නැමැත්තා විදෙස්ගතව සැඟව සිටින "වැල්ලේ සාරංග" නම් අපරාධකරුගේ නැගණියගේ සැමියා බවටයි පසුව අනාවරණය වී ඇත්තේ.

"වැල්ලේ සාරංගගේ" ප්‍රතිවාදියෙකු ලෙස සැලකෙන තවත් අපරාධකරුවකු වන ඩුබායි නිපුන නැමැත්තාගේ පාර්ශ්වයෙන් මියගිය පුද්ගලයාට මරණ තර්ජන තිබීම හේතුවෙන් පොලීසිය ඔහුට අදාළ වෙළඳසැලට නොපැමිණෙන ලෙසද මින්පෙර දැනුම්දී තිබූ බවයි වාර්තා වන්නේ.