ප්ලාස්ටික් හා පොලිතීන් වෙනුවට නව විකල්පයක්
මාර්තු මස 31 සිට ප්ලාස්ටික් හා පොලිතීන් වර්ග කිහිපයක් මෙරට භාවිතා කිරීම තහනම් කිරීමට පරිසර අමාත්‍යාංශය විසින් පියවර ගෙන තිබේ. ඒ අනුව එක්වරක් පමණක් භාවිතා කර ඉවත දමන පොලිතීන් හා ප්ලාස්ටික්, පෙට් බෝතල් PET bottles (PolyEthylene Terepthalate), මයික්‍රෝණ 20ට අඩු ලන්ච් සීට්, සැෂේ පැකට්, කොට්න් බඩ්, හා සුළං පුරවන ලද ප්ලාස්ටික් සෙල්ලම් භාණ්ඩ ද ඊට අයත් වේ. මෙම ප්ලාස්ටික් හා පොලිතීන් ද්‍රව්‍ය බහුල වශයෙන් පරිසරයට බැහැර කිරීම නිසා මෙරට විශාල පරිසර හානියක් මෙන්ම විශේෂයෙන් පානීය හා විවිධ අවශ්‍යතා සඳහා භාවිතා කරන ජල මුලාශ්‍රවලට සිදුවන බව අනාවරණය වී තිබේ. මේ නිසා මෙම ප්ලාස්ටික් හා පොලීතීන් නිෂ්පාදන කිහිපයක් මාර්තු 31 දින සිට මෙරට නිෂ්පාදනය හා බෙදාහැරීම තහනම් කළ ද ඒ සඳහා පරිසර හිතකාමී විකල්ප නිෂ්පාදන හඳුන්වා දීම සඳහා පරිසර අමාත්‍යංශය විවිධ අංශ සමග සාකච්ඡා කරමින් තිබේ.
ඒ අනුව පසුගිය සතියේ දී පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පුද්ගලික අංශයේ ව්‍යාපාරික ආයතන කිහිපයක් සමග සාකච්ඡාවක් පැවැති අතර මෙරට ප්‍රධාන පෙළේ හෝටල් කිහිපයක්ම දැනටමත් ප්ලාස්ටික් හා පොලිතීන් වෙනුවට ඉක්මණින් දිරාපත් වන ඇසුරුම් ද්‍රව්‍ය භාවිතා කරන බව එම ව්‍යාපාරිකයෝ අමාත්‍යවරයාට ප්‍රකාශ කළේය. එමෙන්ම ඔවුන් විසින් දැනට භාවිතා කරන පරිසර හිතකාමී නිෂ්පාදන කිහිපයක් ද අමාත්‍යවරයාට ඉදිරිපත් කළේය.මෙහිදී කරුණු පැහැදිළි කළ අමාත්‍යවරයා මාර්තු 31 සිට තහනම් කෙරෙන ප්ලාස්ටික් හා පොලීතීන් නිෂ්පාදන කිහිපයක් මෙන්ම මෙම වසර අවසන් වීමට පෙර තවත් නිෂ්පාදන 350ක් පමණ භාවිතය තහනම් කිරීම සඳහා පරිසර අමාත්‍යාංශය දැනටමත් ලැයිස්තුවක් සකස් කරමින් තිබෙන බව ද කීය.
පරිසර අමාත්‍යාංශය විසින් මෙම පියවර ගනු ලබන්නේ එම කර්මාන්තය අඩපණ කිරීම සඳහා නොව දැනටමත් ප්ලාස්ටික් හා පොලිතීන් භාවිතය නිසා මෙරට සිදුවෙමින් පවතින දැවැන්ත පාරිසරික හානිය අවම කිරීම සඳහාය. එමනිසා හැකි තරම් පරිසර හිතකාමී ද්‍රව්‍ය භාවිතා කරමින් එම නිෂ්පාදන පවත්වාගෙන යාමට කටයුතු කරන්නැයි ද අමාත්‍යවරයා ව්‍යාපාරික ජනතාවගෙන් ඉල්ලා සිටියේය. කෙසේ වුවද මෙරට ප්ලාස්ටික් හා පොලීතින් භාවිතය අවම කිරීම සඳහා රජය ගෙන යන වැඩ පිළීවෙළට සහාය දක්වමින් මෙරට පුද්ගලික අංශයේ ආයතන ගණනාවක් විශේෂයෙන් ප්‍රධාන පෙළේ ව්‍යාපාරික ආයතන කිහිපයක් විසින් ක්‍රියාත්මක කර ඇති වැඩ පිළීවෙළ අගය කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
