10 දෙනෙක් එක්ක 13 හැවිරිදි දැරියක් දූෂණය කරයි..පොලිසිය එද්දි දැරිය රැගෙන බිත්තියක බඩගාලා.

Police A little girl rape Little girl sexual
By Aruna Jul 23, 2021 01:27 AM GMT
Aruna

Aruna

Report

වසර 7ක් පුරා දස දෙනකු අතින් ලිංගික අපයෝජනයට ලක් වෙමින් සිටි 13 හැවිරිදි දැරිය අවසන් වරට රැගෙන ගොස් සිටි 32 හැවිරිදි විවාහක එක්දරු පියා විසින් ඇය රඳවාගෙන සිටි නිවෙසට පොලිසිය පැමිණි අවස්ථාවකදී එම දැරිය රැගෙන බිත්තියක බඩගා එම නිවෙසේ වහලයට ගොඩවී සොල්දරයේ සැඟවී සිට ඇති බවද අනාවරණය වී ඇත.

රෝහල් ගතව සිටින දැරිය විසින් ලබාදුන් ප්‍රකාශ මත මෙම කරුණු අනාවරණය වන බව පොලිසිය පවසයි.

මෙම දැරිය නාවලපිටිය ප්‍රදේශයේ පදිංචි නිවෙසින් අතුරුදන්ව ඇති බව පවසමින් ඇගේ මව විසින් මෙම මස 3 දින නාවලපිටිය පොලිසියට පැමිණිල්ලක් කර තිබිණි.

ඊට දින 4කට පසු ඇගේ මව විසින් මෙම දැරිය සොයාගෙන නාවලපිටිය පොලිසිය වෙත කැඳවාගෙන පැමිණි පසු අනාවරණය වූ තොරතුරුවලට අනුව ඇය රැගෙන ගොස් රඳවා තබාගෙන සිටි මෙම 32 හැවිරිදි විවාහක පුද්ගලයා අත්අඩංගුවට ගත් අතර දැරිය රෝහල් ගත කර තිබිණි.

නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි විශේෂඥ වෛද්‍ය ජේ.එම්. මහනාම මහතා විසින් සිදුකළ පරීක්‍ෂාවෙන් පසු මෙම දැරිය කිහිපදෙනකු අතින් දීර්ඝ කාලයක් තිස්සේ ලිංගික අතවරයන්ට ලක්ව ඇති බව හඳුනා ගැනීමත් සමඟ පොලිසිය ඒ පිළිබඳව විමර්ශන අරඹා සිද්ධියට අදාළ පුද්ගලයන් දසදෙනකු පිළිබඳව අනාවරණය කර ගෙන තිබේ.

ගම්පොළ කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි ශිරයන්ත පීරිස් මහතාගේ මැදිහත්වීමෙන් සහකාර පොලිස් අධිකාරි ඕ.පී. අමරබන්දු මහතා මෙහි පරීක්‍ෂණ කණ්ඩායම්වල ප්‍රධානියා ලෙස පත්කිරීමෙන් පසු මෙම දසදෙනාගෙන් 7 දෙනකු ඊයේ (21දා) වන විට අත්අඩංගුවට ගත් බව අමරබන්දු මහතා සඳහන් කරයි.

දැරියගේ මව විසින් ඉකුත් 3 දින පොලිසියට පැමිණිලි කිරීමට පෙර ගම්වාසීන් විසින් සිද්ධිය ළමා රක්‍ෂක අධිකාරියට පැමිණිලි කර තිබී ඇති අතර ඒ අනුව නාවලපිටිය පොලිසියේ කොස්තාපල්වරයකු ඒ පිළිබඳව සොයා බැලීමට පසුගිය පළමු දින හරංගල, ඉලුක්පිටිය ප්‍රදේශයට ගිය අවස්ථාවේ එම පොලිස් නිලධාරියා දුටු සැකකරු දැරිය මෙසේ සඟවා තිබේ.

දැරියගේ පියා, බාප්පා කෙනකු, ඥාතීන් හා මත්කුඩුවලට ඇබ්බැහි වූවන් මෙම දැරියගේ අපයෝජනයට හවුල්කරුවන් බව හඳුනාගෙන ඇති අතර ඒ අතර වයස අවුරුදු 18 සිට 43 දක්වා පිරිස් වේ.

මේ පිරිස අතර යුද හමුදා සේවයේ අයකුද සිටි අතර ඔහු පෙරේදා (20දා) අත්අඩංගුවට ගෙන ඇත.

තවත් තිදෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇත.

ඒ හරංගල ප්‍රදේශයේ දෙදෙනකු හා මාවතුර, නයාපාන ප්‍රදේශයේ පදිංචිකරුවකුය.

රක්‍ෂිත බන්ධනාගාර ගතව සිටින මෙම සැකකරුවන් අතරින් නාවලපිටිය, කුවින්ස්බරි වත්තේ පදිංචිකරුවක් ඊයේ හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට යොමු කිරීමට නියමිත බවද දැනට අත්අඩංගුවට ගත් 6 දෙනකුද හඳුනා ගෙන ඇති බවද පොලිසිය පවසයි.

මේ සිද්ධියට ආධාර අනුබල දුන් ඇගේ නැන්දණියද රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටින අතර අනුබල දුන් තවත් කිහිප දෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවද පොලිසිය පවසයි.

මේ අතර ගම්පොළ කොට්ඨාස ස්ථානීය පරීක්‍ෂණ අංශයේ ස්ථානාධිපති ප්‍ර.පො.ප. චම්පික විමලරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් විසින් සිදුකළ පරීක්‍ෂාවකදී දැරිය වරින්වර තබාගෙන සිටි ස්ථාන 10ක් හෙළිකරගෙන ඇති අතර තවත් ස්ථාන කිහිපයක් පිළිබඳ පරීක්‍ෂණ අරඹා තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now