උසස් පෙළ ලියන සියලුම සිසුන්ට විශේෂ දැනුම්දීමක්..
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුව ඒකාබද්ධ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙන බව දැනුම්දී තිබෙනවා.
ඒ, 2024 උසස් පෙළ විභාගය පවත්වනු ලබන කාලසීමාව තුළ ඇතිවිය හැකි ආපදා තත්ත්වයන් මගහරවා ගනිමින් බාධාවකින් තොරව විභාගය පවත්වාගෙන යෑමටයි.
මේ අනුව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් පුරෝකථනය කර තිබුණේ, ඉදිරි සතිය තුළ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්රිත අඩුපීඩන තත්ත්වයක් වර්ධන විය හැකි බවටයි.
ඒ හේතුවෙන් ඇතිවිය හැකි ආපදා තත්ත්වයන් මගහරවා ගනිමින් විභාග කාලසීමාව තුළදී ආපදා හේතුවෙන් සිසුන්ට මුහුණදීමට සිදුවිය හැකි බාධා මග හරවාගනිමින් සාර්ථකව විභාගයට මුහුණදීමට අවශ්‍ය යහපත් පරිසරයක් නිර්මාණය කිරීමට මෙම පියවර ගෙන තිබේ.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් උදය හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් විභාග දෙපාර්තමේන්තුව සහ අනෙකුත් ආයතනවල නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් ජාතික මට්ටමේ සිට දිස්ත්‍රික් මට්ටම දක්වා සියලු අංශ දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේදී පවත්වා තිබුණා.
විභාග කාලසීමාව තුළ ඊට පෙනී සිටින අපේක්ෂකයින් මෙන්ම විභාග රාජකාරි සඳහා සම්බන්ධ වන නිලධාරීන්ට ආපදා හේතුවෙන් මුහුණුදීමට සිදුවිය හැකි බාධා මගහැරගැනීම සඳහා හදිසි ප්‍රතිචාර දැක්වීමේ සම්බන්ධීකරණ යාන්ත්‍රණය ශක්තිමත් කිරීමටද මෙම ඒකාබද්ධ සැලැස්ම තුළින් කටයුතු කරන බවයි සඳහන් කර ඇත්තේ.
ඒ අනුව ත්‍රිවිධ හමුදාව, පොලීසිය ඇතුලු ආපදා කළමනාකරණ ක්‍රියාවලිය හා සම්බන්ධ ආයතන සම්බන්ධීකරණයෙන් විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ ඇතිවිය හැකි බාධා කළමනාකරණය කරගැනීම සඳහා අවශ්‍ය මාර්ගෝපදේශ අදාළ අංශ වෙත මේ වන විටත් නිකුත් කර ඇත.
යම් ආපදාවක් හේතුවෙන් සිසු දරුවකුට විභාගයට පෙනී සිටීමට බාධාකාරී තත්ත්වයක් මතු වුවහොත් අදාළ මධ්‍යස්ථානය කරා ළඟාවීම සඳහා සහාය ලබාගැනීමට දුරකථන අංක කිහිපයක්ද හඳුන්වාදී තිබෙනවා.
ඒ අනුව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි ඇමතුම් අංක 117 හෝ විශේෂ ඒකාබද්ධ හදිසි මෙහෙයුම් මැදිරි අංක වන 0113 668 020 / 0113 668 100 හෝ 0113 668 013 / 0113 668 010 සහ 076 3 117 117 යන අංක වෙත දැන්වීමට හැකියාව ලබාදී ඇත.
එමෙන්ම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම්දෙන්නේ, විභාග දෙපාර්තමේන්තුවේ හදිසි ඇමතුම් අංකය වන 1911 යන දුරකථන අංකයට ද ඒ බව දැන්වීම තුළින් කඩිනමින් එම තත්ත්වය මගහරවා ගැනීමට අවශ්‍ය සම්බන්ධීකරණය සිදුකර ගත හැකි බවයි.
මේ අතර 2024 අ.පො.ස. උසස් පෙළ විභාගය සැලසුම්කළ ලෙස නොවැම්බර් මස 25වනදා ආරම්භ කරන බව නිවේදනයක් නිකුත්කරමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය ඉකුත් 20 වනදා දෙනු ලැබීය.