70ක කතකගේ ඇඟට විෂ එන්නත් කර පිම්මේ දුවලා ගිහින්.. ඇයි ඒ වගේ භයානක දෙයක් කළේ?.
විෂ එන්නත් කර 70 හැවිරිදි අවිවාහක කාන්තාවක් ඝාතනය කළ බව පැවසෙන සිද්ධියක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වේ.
ඒ සම්බන්ධයෙන් දික්වැල්ල පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
මියගිය කාන්තාවගේ ඥාතීන් කියා සිටින්නේ, ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් විභාග වන පසුබිමක මෙම මරණය සිදුවීම සැකසහිත බව ය.
දික්වැල්ල වත්තේගම දකුණ ප්‍රදේශයේ නිවසක පදිංචිව සිටි 70 හැවිරිදි අවිවාහක කාන්තාවක් විෂ සහිත එන්නතක් ශරීරගත වූ බව පවසමින් මාතර, බතීගම රෝහලට ඇතුළත් කර තිබිණ.
ඒ දෙසැම්බර් 20 වන දා පස්වරුවේ දී ය.
අනතුරුව තත්ත්වය බරපතළ වීම හේතුවෙන් මාතර දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරුකර යැවුණු ඇය දින 4ක් එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (24) සවස මියගොස් තිබෙනවා.
ඇයගේ ඥාතීන් පවසන්නේ, නාදුනන පුද්ගලයෙකු නිවසට පැමිණ ඇයට යම් විෂක් එන්නත් කර පලාගොස් ඇති බව ය.
සිද්ධිය සම්බන්ධයෙන් දික්වැල්ල පොලීසිය සිදුකළ විමර්ශනවලදී අදාළ නිවස අසල පිහිටි CCTV කැමරාවක දර්ශන පරීක්ෂා කර තිබෙනවා.
ඒ අනුව කිසියම් පුද්ගලයෙකු අදාළ කාන්තාව හමුවීමට පැමිණ නිවසට ඇතුළු වන ආකාරය එහි දැක් වේ.
මිනිත්තු කිහිපයකින් පසු නාඳුනන පුද්ගලයා සහ අදාළ කාන්තාව නිවස දෙසින් කලබලයෙන් පිටතට පැමිණෙන අයුරු නිරීක්ෂණය වෙයි.
කාන්තාව ගෙල ප්‍රදේශය අල්ලාගෙන පාර මාරු වී අසල පිහිටි ඥාති නිවසකට දිවයන අතර විෂ එන්නත් කළ බව පැවසෙන පුද්ගලයා යතුරුපැදියෙන් පලායන ආකාරය ද CCTV දර්ශනවල ඇතුළත් ය.
දික්වැල්ල පොලීසිය පැවසුවේ අදාළ කාන්තාවට විෂ එන්නත් කළ බව පැවසෙන පුද්ගලයා අත්අඩංගුවට ගෙන මාතර අධිකරණයට අද (25) ඉදිරිපත් කළ පසු රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු බව ය.
කෙසේ වෙතත්, මියගිය කාන්තාවගේ රුධිර සාම්පල රස පරීක්ෂක වාර්තා ලබා ගැනීම සඳහා යොමුකර ඇති බව සදහන් වේ.
You May Like This Video👇
.