"ක්ලීන් ශ්‍රී ලංකා" යටතේ රාජ්‍ය සේවයට නව පියවරක් ජාතික සුපිළිපන් සතිය ඇරඹේ
"සුපිළිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක්" යන තේමාව යටතේ ජාතික සුපිළිපන් සතිය අද (ජූලි 27) ජනාධිපති කාර්යාලයේදී ආරම්භ වූ අතර, සුපිළිපන්භාවය යනු කිසිවෙකු නිරීක්ෂණය නොකරන අවස්ථාවකදී පවා හෘද සාක්ෂියට අනුකූලව නිවැරදි දේ කිරීම බව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ප්‍රකාශ කළේය.
ජූලි 27 සිට 31 දක්වා පැවැත්වෙන මෙම වැඩසටහන ජනාධිපති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණු අතර, ඒ සමඟ ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතනවල "ජාතික සුපිළිපන් දිවුරුම" ලබාදීමද සිදු විය.
ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර සබඳතාවල තවත් ජයග්‍රහණයක් අත්කර දෙමින් පිලිපීනයේ පළමු කොන්සියුලර් කාර්යාලය විවෘත වෙයි
මෙහිදී ජනාධිපති කාර්යාලයේ නිලධාරීන් සඳහා සකස් කළ ආචාරධර්ම සංග්‍රහය ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් සහ අභ්‍යන්තර කටයුතු ඒකක ප්‍රධානී චානකී රණතුංග මහත්මිය විසින් ජනාධිපති ලේකම්වරයා වෙත භාර දෙනු ලැබීය.
ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සඳහන් කළේ, සුපිළිපන්භාවය යනු අල්ලස සහ දූෂණයෙන් වැළකීම පමණක් නොව, තම වගකීම් නිසි ලෙස ඉටු කිරීමද ඇතුළත් පුළුල් සංකල්පයක් බවයි.
යම් නිලධාරියෙකු දූෂණ ක්‍රියාවකට සම්බන්ධ නොවූවත්, තම රාජකාරිය නිසි අයුරින් ඉටු නොකරන්නේ නම් එයද සුපිළිපන්භාවයට බලපාන බව ඔහු පැවසීය. රාජ්‍ය නිලධාරීන් දූෂිත පිරිසක් ලෙස සලකා කටයුතු කිරීම රජයේ ප්‍රතිපත්තිය නොවන බවත්, ඔවුන් තුළ පවතින යහපත් ගුණාංග සහ නිවැරදි ක්‍රියාකාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සුපිළිපන් සතියේ අරමුණ බවත් ජනාධිපති ලේකම්වරයා සඳහන් කළේය.
මෙම වැඩසටහනේ අරමුණ වන්නේ රාජ්‍ය සේවයේ ගුණාත්මකභාවය, කාර්යක්ෂමතාව සහ පාරදෘශ්‍යභාවය වැඩිදියුණු කිරීම මෙන්ම ස්වයං විනය සහ ස්වයං අධීක්ෂණය මත පදනම් වූ සදාචාරාත්මක පරිපාලන පද්ධතියක් ගොඩනැගීම බවද ඔහු පැවසීය.
"ක්ලීන් ශ්‍රී ලංකා" වැඩසටහනේ මූලික අරමුණද සමාජයේ යහපත් ගුණාංග වර්ධනය කිරීම සහ ගුණාත්මකභාවය ඉහළ නැංවීම බව ජනාධිපති ලේකම්වරයා සඳහන් කළේය. එමෙන්ම, පසුගිය වසර එකහමාරක කාලය තුළ රාජ්‍ය ආයතන 350කට ආසන්න සංඛ්‍යාවක අභ්‍යන්තර කටයුතු ඒකක ස්ථාපිත කර ඇති බවත්, අකටයුතුකම් සම්බන්ධයෙන් එම ඒකක වෙත දැනුම් දීමට හැකි ක්‍රමවේද සකස් කර ඇති බවත් ඔහු පැවසීය.
ඉහළ සුපිළිපන්භාවයකින් යුතු රාජ්‍ය සේවයක් සහ සමාජයක් ගොඩනැගීම සඳහා සමස්ත රාජ්‍ය සේවයේ සහයෝගය අවශ්‍ය බවද ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අවධාරණය කළේය.