ගිනිගත්හේන නගරයේ විශේෂ පරීක්ෂාවක් - වාහන 22ක් තාවකාලිකව ධාවනයෙන් ඉවත් කෙරේ
ගිනිගත්හේන නගරයේදී සිදුකළ විශේෂ හදිසි රථවාහන පරීක්ෂාවකදී ත්‍රීරෝද රථ ඇතුළු වාහන 22ක් තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරීමට පියවර ගත් බව නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රධාන මෝටර් රථ පරීක්ෂක ජාලිය බණ්ඩාර මහතා පවසයි.
ගිනිගත්හේන පොලීසියේ රථවාහන අංශය සහ නුවරඑළිය දිස්ත්‍රික් මෝටර් රථ පරීක්ෂකවරයා එක්ව ඊයේ (05) රාත්‍රියේ මෙම විශේෂ මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත.
එහිදී පරීක්ෂාවට ලක්කළ සමස්ත වාහන 44 අතුරින් අඩක්ම, එනම් වාහන 22ක් මෙලෙස ධාවනයෙන් තහනම් කිරීමට පියවර ගෙන තිබේ.
වාහනවල මුල් ආකෘතිය වෙනස් කර අවදානම් සහිත අමතර කොටස් සවි කිරීම, නිසි ලෙස නඩත්තු නොකිරීම, යාන්ත්‍රික දෝෂ පැවතීම සහ අතිරේක විදුලි ලාම්පු සවි කිරීම යන අඩුපාඩු හේතුවෙන් මෙම පියවර ගත් බව මෝටර් රථ පරීක්ෂකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ධාවනයෙන් ඉවත් කළ වාහනවල ආදායම් බලපත්‍ර මෝටර් රථ පරීක්ෂකවරුන් භාරයට ගෙන ඇති අතර, අදාළ අඩුපාඩු සකස් කර නැවත පරීක්ෂාවට ඉදිරිපත් කරන තෙක් එම වාහන ධාවනය කිරීම සම්පූර්ණයෙන් තහනම් කර ඇත.