ඉන්දීය කාන්තා ක්‍රිකට් පිටියේ වෙනසක් - හර්මන්ප්‍රීත් කෞර් නායකත්වයෙන් ඉවත් වෙයි
ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා හර්මන්ප්‍රීත් කෞර් සියලුම තරග රටාවල නායකත්වයෙන් ඉවත් වීමට තීරණය කර තිබේ. සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සටහනක් තබමින් ඇය මේ බව නිවේදනය කර ඇති අතර, වසර ගණනක මතකයන්, හැඟීම් සහ කැපකිරීම් සමඟ ගත් මෙම තීරණය පහසු එකක් නොවන බව ද සඳහන් කර තිබේ.
ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ (BCCI) ලේකම් දේවජිත් සයිකියාගේ ප්‍රධානත්වයෙන් ගුවහාටිහි පැවති සමාලෝචන රැස්වීමකින් අනතුරුව මෙම නිවේදනය නිකුත් කර තිබේ.
එම රැස්වීමට හර්මන්ප්‍රීත් කෞර්, උපනායිකා ස්මිත්‍රි මන්දනා සහ ප්‍රධාන පුහුණුකරු අමෝල් මුසුම්දාර් ද සහභාගී වී ඇත.
2016 වසරේදී ඉන්දීය කාන්තා කණ්ඩායමේ නායකත්ව වගකීම භාරගත් හර්මන්ප්‍රීත්, සිය නායකත්ව කාලය තුළ කණ්ඩායම වෙනුවෙන් පෞද්ගලික කැපකිරීම් රැසක් සිදුකළ බව සිය සටහනේ සඳහන් කර තිබේ. “අද මම ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ සියලුම තරග රටාවල නායකත්වයෙන් ඉවත් වෙනවා. මෙය පහසු තීරණයක් නොවේ. වසර ගණනාවක මතකයන්, හැඟීම් සහ කැපකිරීම් මෙයට ඇතුළත්,” යනුවෙන් ඇය සඳහන් කර ඇත.
කණ්ඩායමේ යහපත වෙනුවෙන් ඇතැම් අවස්ථාවල තම පෞද්ගලික දක්ෂතා සහ අරමුණු පවා දෙවැනි තැනට තැබීමට සිදු වූ බව ද ඇය පවසා තිබේ.
නායිකාව ලෙස ගත් ඇතැම් තීරණ සියලු දෙනාටම තේරුම්ගත නොහැකි වුවද, සෑම තීරණයක්ම කණ්ඩායම වඩාත් ශක්තිමත් කිරීමේ අරමුණින් ගත් බව හර්මන්ප්‍රීත් වැඩිදුරටත් සඳහන් කර ඇත.
නායකත්වයෙන් ඉවත් වීම සම්බන්ධයෙන් ඇය තවදුරටත් පවසා ඇත්තේ, කණ්ඩායම තුළ දක්ෂතා, විශ්වාසය සහ අනාගතය පිළිබඳ බලාපොරොත්තු පවතින බැවින් සතුටු සිතින් මෙම වගකීමෙන් ඉවත් වන බවයි. කෙසේ වෙතත්, නායකත්වයෙන් ඉවත් වුවද ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීම අත්නොහරින බව ඇය අවධාරණය කර තිබේ. “නායකත්වය අදින් අවසන් වුණත් ඉන්දීය ක්‍රිකට් වෙනුවෙන් ඇති මගේ ආදරය කිසිදා අවසන් වන්නේ නැහැ. දැන් මම නැවතත් ක්‍රීඩාවට ඇති ආදරය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට සූදානම්. නායකත්වය අවසන් වුණත් ගමන දිගටම පවතිනවා,” යනුවෙන් ඇය සිය සටහන අවසන් කර ඇත.
හර්මන්ප්‍රීත් නායකත්වයෙන් ඉවත් වීමත් සමඟ ඉන්දීය කාන්තා කණ්ඩායමේ මීළඟ නායකත්වය සම්බන්ධයෙන් අවධානය යොමුව තිබේ. දිගු කලක් උපනායිකාව ලෙස කටයුතු කළ ස්මිත්‍රි මන්දනා නව නායකත්වයට පත්වනු ඇතැයි වාර්තාවේ සඳහන් වුවද, ඒ සම්බන්ධයෙන් නිල පත්කිරීමක් මෙහි දක්වා නොමැත.