වසර මිලියන 210ක් පස්සේ හම්බුන අනපේක්ෂිත තෑග්ගක්
ඉතාලියේ ලොම්බාර්ඩි කලාපයේ පිහිටි ස්ටෙල්වියෝ ජාතික උද්‍යානයෙන් වසර මිලියන 210ක් පැරණි ඩයිනෝසර් පිය සටහන් දහස් ගණනක් හමුවී ඇත.
එම පියසටහන්වල විශේෂත්වය නම් ඩයිනෝසර්වරුන්ගේ ඇඟිලි සහ තියුණු නියපොතු සලකුණු පවා ඉතා පැහැදිලිව ඒ අතර සටහන් වී තිබීමයි.
මෙම පියසටහන් වනජීවී ඡායාරූප ශිල්පී එලියෝ ඩෙලා ෆෙරේරා (Elio Della Ferrera) විසින් සිරස් අතට විහිදුණු දැවැන්ත පර්වතයක තිබී මුලින්ම නිරීක්ෂණය කර ඇත.
එසේම ඇතැම් පියසටහන් සෙන්ටිමීටර 40ක් (අඟල් 16ක්) පමණ පළල වන අතර, මෙම පියසටහන් මාලාව කිලෝමීටර් 5ක් පමණ දුරට විහිදී යන බව සඳහන්.
විද්‍යාඥයන් මේවා Prosauropods නම් දිගු බෙල්ලක් සහිත ශාකභක්ෂක ඩයිනෝසර් විශේෂයට අයත් බව විශ්වාස කරයි. මොවුන් පසුකාලීනව විසූ 'බ්රොන්ටෝසෝරස්' වැනි දැවැන්ත ඩයිනෝසර්වරුන්ගේ මුතුන්මිත්තන් වශයෙන් සැලකේ.
මේ අතර මිලානෝ ස්වභාව විද්‍යා කෞතුකාගාරයේ පාෂාණධාතු විද්‍යාඥ ක්‍රිස්ටියානෝ දාල් සාසෝ (Cristiano Dal Sasso) ප්‍රකාශ කරන්නේ මෙම පියසටහන් ඔස්සේ එකල විසූ සතුන්ගේ හැසිරීම් රටා මැනවින් නිරූපණය වෙන බවයි.
ඒ අනුව ඩයිනෝසර් රංචු එකට ගමන් කළ ආකාරය මෙම පියසටහන් හරහා පැහැදිලිව පෙනෙයි. ඊට අමතරව ඇතැම් ස්ථානවල සතුන් වටකුරු ලෙස එක්රැස් වී සිටි බවට සාක්ෂි හමුවී ඇති අතර, විද්‍යාඥයන් එය සතුරන්ගෙන් ආරක්ෂා වීමට ගත් උත්සාහයක් විය හැකි බව සඳහන් කරයි.
මීට වසර මිලියන 210කට පෙර මෙම ප්‍රදේශය ටෙතිස් (Tethys) සාගරයෙන් වටවූ නිවර්තන වෙරළ තීරයක්ව පැවති අතර ඩයිනෝසර්වරුන් ඇවිද ගොස් ඇත්තේ මඩ සහිත බිමකයි.
එහෙත් පසුකාලීනව ඇල්ප්ස් කඳු පන්තිය නිර්මාණය වීමේදී සිදුවූ භූ චලන නිසා මෙම තිරස් බිම් තීරය අද වන විට මීටර් 2,000කට වඩා උසින් පිහිටි සිරස් පර්වතයක් බවට පත්ව ඇත.
ඒ අනුව භූ විද්‍යාඥ ෆැබ්රිසියෝ බෙරා විසින් "මෙය ගල් පොතක පිටු කියවන්නාක් වැනි අතිශය දුර්ලභ අවස්ථාවක්," යැයි පවසයි.
කෙසේ වෙතත් එරට බලධාරීන් සඳහන් කරන්නේ මෙම සොයාගැනීම 2026 වසරේ ඉතාලියේ පැවැත්වීමට නියමිත ශීත ඍතු ඔලිම්පික් උළෙල සඳහා ලැබුණු "අනපේක්ෂිත තෑග්ගක්" බවයි.