එක් වෛද්‍ය නිලධාරී කොට්ඨාසයක දරුවන් 21කට කොවිඩ්

Covid mawanella sri lanak
By Sithumi Jun 20, 2021 02:48 PM GMT
Sithumi

Sithumi

Report

මාවනැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ සිදුකළ අහඹු පී.සී.ආර්. පරීක්ෂණ 110 ක් අතරින් 77 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ. මෙම ආසාදිතයින් අතර වයස අවුරුදු 15ට අඩු දරුවන් 21 දෙනෙකු ද වන බව සෞඛ්‍ය අංශ සඳහන් කරති.

මේ අතර පවුල් 580 ක් පමණ ජීවත්වන කැලණිය නාහේන ප්‍රදේශය හුදකලා කර දින 16 කාලයක් ඉක්මගොස් ඇතත් රුපියල් 5,000 දීමනාව හෝ වෙනත් සහනාධාරයක් මෙතෙක් නොලැබීම හේතුවෙන් පීඩාවට පත් ප්‍රදේශවාසීන් අද උද්ඝෝෂණයක නිරත විය. එම ස්ථානයට රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පැමිණි අතර හෙට (21) දිනය වනවිට හුදකලා තත්ත්වය ඉවත් කරන බවට දුන් පොරොන්දුව මත උද්ඝෝෂණය අවසන් කෙරුණි.

මේ අතර හෙට සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු ජනතාවට අත්‍යවශ්‍ය සේවා සපයා ගැනීම සඳහා පමණක් පළාත් ඇතුළත සීමිත වශයෙන් පොදු ප්‍රවාහන සේවා යොදවා ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කළේය.

සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු පළාත් අභ්‍යන්තරයේ පමණක් ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව ද සීමිත දුම්රිය සංඛ්‍යාවක් යොදවා තිබේ.

ඒ අනුව ප්‍රධාන මාර්ගයේ දුම්රිය 06 ක්, මුහුදුබඩ මාර්ගයේ දුම්රිය 04 ක්, කැලණිවැලි මාර්ගයේ දුම්රිය 04 ක් සහ පුත්තලම මාර්ගයේ දුම්රිය 03 ක් ධාවනයට එක්කරනු ඇති අතර මහනුවර සහ අනුරාධපුරයේද පළාත් අභ්‍යන්තරයේ සීමිත දුම්රිය ගමන් වාර සංඛ්‍යාවක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  
Join now