කෝටි ගණනක් වටිනා හෙරොයින් තොගයක් සමග කොටු කරගත් නැව(PHOTOS)
මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ප්‍රවාහනය කරමින් තිබූ තවත් විදේශීය ධීවර යාත්‍රාවක් විදෙස් සැකකරුවන් 06 දෙනෙකු සමඟ අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සමත්ව තිබෙනවා. ඒ, ශ්‍රී ලංකා නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරක් මත පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්‍යංශය හා එක්ව ජාත්‍යන්තර මුහුදේ ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමක් මඟින්.
ශ්‍රී ලංකාවට නාවික සැතපුම් 900ක් (කිලෝ මීටර් 1665ක් පමණ) දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේ දින ගණනාවක් අඛණ්ඩව ආවේක්ෂණය කරමින් සිදු කළ මෙම විශේෂ මෙහෙයුමේදී අත්අඩංගුවට ගන්නා ලද එම මත්ද්‍රව්‍ය රැගත් විදේශීය ධීවර යාත්‍රාව සහ එම යාත්‍රාවේ සිටි විදේස් ජාතික සැකකරුවන් 06 දෙනා මේ වන විට ශ්‍රී ලංකා නාවික හමුදා නෞකාවක ආරක්‍ෂාව යටතේ ගොඩබිම වෙත රැගෙන එමින් පවතිනවා.
තවද, නාවික හමුදා අත්අඩංගුවට ගත් උර නවය (09)ක් තුළ පැකට් 225 ක් ලෙස අසුරන ලද මෙම මත් ද්‍රව්‍ය තොගයේ බර කිලෝග්‍රෑම් 250ක් පමණ වන බවයි විශ්වාස කෙරෙන්නේ. මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගන්නා ලද මත්ද්‍රව්‍ය තොගයට අමතරව මේ වර්ෂය තුළ දී පමණක්, රුපියල් බිලියන 13.16කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය නීතියේ රැහැනට හසුකර ගැනීමට නාවික හමුදාව සමත් වි තිබෙනවා.
ඒ අනුව, ඉදිරි දින කිහිපය තුළදී ගොඩබිම වෙත රැගෙන ඒමෙන් පසු මෙම මත්ද්‍රව්‍ය රැගත් සැකකටයුතු විදේශීය ධීවර යාත්‍රාව සහ විදේස් ජාතික සැකකරුවන් 06 දෙනා පිළිබඳ ඉදිරි විමර්ශන හා නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දීමට නියමිතයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |








