මොලේ මියගිය කෙනෙකුගේ වකුගඩුවකින් ජීවිතය බේරගත් ලාබාලම දියණිය
නිරෝගීකම උතුම්ම සැපතයි. ඈත අතීතයේ පටන් අපේ ජනවහරේ එන මේ අපූර්ව කියමන සැබැවින්ම අර්ථාන්විතය. එසේවන්නේ සම්පත් තිබුණද රෝගී වූ කළ ඉන් කිසිදු ඵලක් නොමැති නිසාය. බුදු දහමේ සඳහන් වන පරිදි නිරෝගීකම යනු දියුණුවේ පළමු දොරටුවයි. අද කතාව එම සඳහනට මනා නිදසුනක් සපයයි..
මෙහි කතා නායිකාව හෂිනි වාසනාය. ගම්පහ, කටාන ප‍්‍රදේශයේ පදිංචි ඇයගේ වයස මේ වනවිට අවුරුදු පහළවකි. නමුත් මෙම සිදුවීමට මුහුණ දෙනවිට ඇය දස හැවිරිදි දියණියකි. 2006 වසරේදී ඈන් තුෂාරිට සහ එච්. පේ‍්‍රමරත්නට දාව හෂිනි වාසනා උපත ලබන්නේ වැඩිමල් සහෝදරයෙකුත් සහෝදරියකුත් සිටිනා පවුලේ බඩපිස්සී ලෙසය.
තෙවැනි දියණියගේ ඉපදීමත් සමඟ දරුවන් තිදෙනෙකුගේ බර එන්න එන්නම වැඩි වෙද්දි පේ‍්‍රමරත්න රට රස්සාවක් සොයා යන්නේ දරුවන්ගේ වගකීම ඈන්ට භාරකරමිනි. එතැන් පටන් අම්මාගේත් අක්කාගේත් අයියාගේත් නොමද හුරතලය මැද හැදුණු හෂිනි ඉතා ක‍්‍රියාශීලී දරුවෙකු විය.
ඇය අධ්‍යාපනය හදාරනු ලැබුවේ ගමේ පාසල වූ මරිය රාජිනී විද්‍යාලයෙනි. පළමු ශ්‍රේණියේ පටන්ම ඉගෙනීමට හපන්කම් දැක්වූ ඇය පාසලට හොඳ ශිෂ්‍යාවක් මෙන්ම යහළු යෙහෙළියන් අතර හොඳ මිතුරියක වූවාය. නමුත් මෙසේ කෙළිදෙළෙන් කල් ගත කළ වාසනාගේ ජීවිතය කරා අවාසනාව ළඟා වන්නට වැඩි කාලයක් ගත වූයේ නැත. හිටිහැටියේම ඇයට දරුණු සෙම ගතියක් සමඟ නිතර මුත‍්‍රා පිටවන්නට විය.
මීට අමතරව වෙනත් කිසිදු රෝග ලක්ෂණයක් නොතිබුණු හෙයින් ඈන් ඒ පිළිබඳව විශේෂයක් දැක්වූයේ නැත. දිනෙන් දිනම හෂිනිගේ් රෝගී තත්ත්වය උත්සන්න වූයෙන් ඈන් තම දියණියව පෞද්ගලික වෛද්‍යවරයෙකු හමුවට රැගෙන ගියාය. එතැනදී වෛද්‍යවරයා ඇයට පවසන්නේ අවුරුදු දහයක කුඩා දියණියක් පිළිබඳව මවකට සිහිනෙකින්වත් සිතාගැනීමට නොහැකි කතාවකි.
ඒ වනවිට පහ ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ හෂිනිට වකුගඩු ආසාදනයක් හටගෙන ඇති බව වෛද්‍යවරයාගේ නිගමනය වූයෙන් ඈන් මානසිකව වැටෙන්නට තිබූ උපරිම අඩියට වැටුණාය. කරදඬු උස් මහත් වූ තරුණ තිස් හැවිරිදි පුතෙකු සහ විසි අට හැවිරිදි දියණියක් ඈන්ට සිටි නමුත් ඔවුන් දෙදෙනාද හැමවිටම තම උකුලේ හුරතල් වූ පුංචි නැගණිය ගැන සැළවූ දුක්මුසු පුවත අසා මවත් සමඟ හඬා වැළපෙන්නට විය.
සාමාන්‍යයෙන් වකුගඩු රෝගයට ගොදුරු වන්නන් ලෙස සැලකෙන්නේ අවුරුදු පනහ පසු කළ වයස්ගත පුද්ගලයින්ය. එසේත් නැතිනම් පවුලේ කාට හෝ එම රෝගය වැළඳී තිබීම නිසාය.. නමුත් එවැනි එක් කාරණාවකටවත් හෂිනි අදාළ වූයේ නැත. ඒ හේතුවෙන්ම හෂිනිගේ රෝගාබාධය පිළිබඳව දැනගත් බොහෝදෙනකු හෂිනිගේ මවට කියා ඇත්තේ දරුවාට කියන තරම් බරපතල රෝගී තත්ත්වයක් වැළඳී නොමැති බවයි.
තම දියණියගේ අසනීප තත්ත්වය පිළිබඳව දැනගත් විගස පේ‍්‍රමරත්නගේ පිළිතුර වූයේ වහාම දරුවාව රජයේ රෝහලකට ගෙනගොස් වෛද්‍යවරයෙකුට පෙන්වන ලෙසයි. පසුව ඈන් හෂිනිව පේරාදෙණිය මූලික රෝහලට ගෙන ගියේ සියල්ලෝම කිව්වාක් මෙන් තත්ත්වය බරපතළ නොවනු ඇති බවට සිතේ දැඩි විශ්වාසයක් ඇතිවයි. නමුත් එතැනදී වෛද්‍යවරයා පැවසූ දෙයින් ඈන්ට සිදු වූයේ කබලෙන් ළිිපට වැටෙන්නටය.
හෂිනිට ඉතා ඉක්මණින් වකුගඩු බද්ධයක් සිදුකිරීමට සිදුවන බව වෛද්‍යවරයා දැනුම් දෙන ලදි. එතැන් පටන් ඈන් සිය වැඩිමල් දියණියද සමඟ බාල දියණිය කැටුව පේරාදෙණිය රෝහලේ සායනයන්ට සහභාගී වූවාය. මෙම සිදුවීම ‘නවලිය‘ සමඟ පැවසුවේ නැගණිය වෙනුවෙන් දිවා ? නොබලා වෙහෙසුණු ඇගේ වැඩිමල් සහෝදරිය වූ ඉෂාරා තිළිණිය. ”අපි දවස් කීපයක් පේරාදෙණිය රෝහලේ සායනවලට සහභාගී වුණා. අම්මා ගොඩක් බය වුණා මෙච්චර පොඩි වයසකදී නංගිට වකුගඩු බද්ධයක් කරන්න වෙන එකට.
අපි හිතන් හිටියෙ පොඩි වයසකදී කරන වකුගඩු සැත්කම් සාර්ථක වෙනවා අඩුයි කියලා. ගොඩක් අය කිව්වා නංගිට සැත්කමක් නොකර මේක හොඳ කරගන්න පුළුවන් වෙයි කියලා. ඒ නිසා අපි රෝහල් ප‍්‍රතිකාරවලින් ඉවත් වෙලා සිංහල බෙහෙත් කරන්න ගත්තා.
නමුත් සුවයක් ලැබුණේ නෑ. අවසානයේ ලෙඩක් දුකක් වැළඳුණවිට අවසන් තුරුම්පුව ලෙස ඖෂධ පසෙක තබා බොහෝ අය පිහිට පතන කෝකටත් තෛලය වන ජ්‍යොතිෂය ඈන්ලාටද මතක් විය. එහිදී හෂිනිට දරුණු අපලයක් තිබෙන බවත්, අපලය ගෙවී යනතෙක් දෙවියන්ට පූජා පැවැත්වීමටත් ඈන්ට ජ්‍යොතිෂවේදියාගෙන් උපදෙස් ලැබුණි.
ඒ අනුව රෝහල් සායනයට යන්නාක් සේ පුද පූජා පැවැත්වීමට ඈන් හෂිනිව රැගෙන වෙලාව අවේලාව නොබලා පන්සල්, දේවාල කරා දිව්වාය. නමුත් පැවසූ අපල කාලය ගෙවී ගියද හෂිනිගේ රෝගාබාධය අඩුවක් නොවූයෙන් වෛද්‍ය විද්‍යාව ඉතාමත් දියුණු මට්ටමක පවතින මෙවැනි කාලයක තවත් එවැනිම මිත්‍යාවක් පසුපස ඈන්ලා දිවගියේ ගිලෙන්නට යන මිනිහා පිදුරු ගහෙත් එල්ලෙනවා යන කියමන මොනවට පැහැදිලි කරමිනි.
ඒ ලෝක සෞඛ්‍ය සංවිධානයේ පවා විවේචනයන්ට ලක්ව පවතින හෝමියෝපති ප‍්‍රතිකාර සඳහාය. ඒ වනවිට ඔවුන් සතුව පැවැති මුදල්ද ටිකින් ටික ක්ෂය වෙමින් පැවතිණි. හෝමියෝපති ප‍්‍රතිකාර කරමින් ඉන්නකොට නංගිට එකපාරටම ෆිට් එක හැදුණා. එන්න එන්නම ඒක වැඩි වෙද්දි අපි හෝමියෝපති ප‍්‍රතිකාර නවත්වන්න හැදුවත් ඩොක්ටර් කිව්වෙ නංගිට ලෙඩක් නෑ ඉක්මණින් හොඳ වෙයි කියලා.
එයාල නංගිගෙ කිසිම පරීක්ෂණයක් කරන්න දුන්නෙ නෑ. නමුත් අපි රෝහලට ගෙනිහින් නංගිගේ ක්‍ඍඡු ටෙස්ට් එකක් කරලා රිපෝට් එක හෝමියෝපති කරපු ඩොක්ටර්ට ගිහින් පෙන්නුවාම එයා කිව්වා රිපෝට් එක බොරුවක්, මෙහෙම රිපෝට් එකක් තියෙන කෙනෙක් ජීවත් වෙලා ඉන්න විදිහක් නෑ කියල. පස්සෙ ඒ වෛද්‍යවරයා අපිව මගහැරිය. වාසනාවකට ප‍්‍රතිකාර ගන්න ඇවිත් හිටපු තවත් කාන්තාවක් එතනදි මුණගැසුණ. එයා කිව්වා එයාගේ මහත්තයගේ වකුගඩු රෝගය සුව කරගත්තෙත් ජයවර්ධනපුර රෝහලෙන් කියල.
එතනින් පස්සෙ අපි නංගිව ජයවර්ධනපුර රෝහලට එක්කගෙන ගියා. නංගිව බලපු විශේෂ ස්තූතිය ශ‍්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චින්තන ගලහිටියාව කියපු දෙයින් අපිට උන්හිටි තැන් අමතක වුණා. නංගිගේ තත්ත්වය ගොඩක් බරපතලයි කියල තමයි ඩොක්ටර් කිව්වේ. ජීවිතය ගැනවත් විශ්වාසය තියාගන්න එපා කිව්වා.
රෝග ලක්ෂණ නොපෙන්නුවට නංගිට වකුගඩු රෝගය තිබිලා තියෙන්නේ අවුරුදු දෙකේ ඉඳලා කියලා අපි දැනගත්තෙ අන්තිම මොහොතෙ. ඩොක්ටර් කිව්වෙ ඉක්මණින්ම වකුගඩුවක් බද්ධ කරන්න වෙන නිසා පවුලේ කෙනෙකුගේ වකුගඩුවක් අවශ්‍යයි කියල. සියල්ල මෙසේ සිදුවනවිට පහළොස් වසක් පුරා මැදපෙරදිග රැකියාව කරමින් සිටි පේ‍්‍රමරත්න නැවතත් ලංකාවට පැමිණෙන්නේ යළිත් පිටරට රස්සාවකට නොයා තම බාල දියණිය සුවපත් කරගෙන සිය පවුල සමඟ ලංකාවේ රැඳෙන අටියෙනි.
නමුත් හැරුණු තැපෑලෙන්ම නැවතත් ඔහුට යාමට සිදුවූයේ දියණියගේ සැත්කම් සමඟ නිවසේ වියදම්ද එන්න එන්නම වැඩි වූ නිසාය. ඒ වනවිට හෂිනිට විශේෂ ආහාර වට්ටෝරුවක්ද සැකසී තිබුණි. රෝගයේ මූලාරම්භයේදීම සුව කරගන්නවා විනා නොයෙක් දෙනාගෙකීම් අසා වකුගඩු බද්ධයට බියව යල් පැනගිිය ක‍්‍රම පසුපස දිවගිය ඈන්ලාට අවසානයේ වකුගඩු බද්ධය හැර වෙනත් විසඳුමක් ඉතිරිව නොතිබුණි. දෙවරක් නොසිතා ඉෂාරා තම නැගණිය වෙනුවෙන් වකුගඩුවක් පරිත්‍යාග කිරීමට ඉදිරිපත් වූවාය.
එතැන් පටන් හෂිනි වෙනුවෙන් ඉෂාරා පරීක්ෂණ රැසකට මුහුණ දුන් නමුත් දෛවය එතරම්ම සෞම්‍ය නැත. පරීක්ෂණ සියල්ල අවසානයේදී ඉෂාරාගෙමුත‍්‍රාවල පවතින ගැටලූවක් හේතුවෙන් එයද අසාර්ථක විය. එහෙයින් නිරෝගී වකුගඩුවක් ලැබෙනතෙක් හෂිනිගේ සැත්කම දින කිහිපයක් කල් දැමීමට වෛද්‍යවරු තීරණය කළහ.
එසේ සිටියදී අවාසනාව පරදා හෂිනිගේ දිවියට වාසනාව කැඳවමින් අනතුරකින් මොළය මියගිය දරුවෙකුගෙ වකුගඩුවක් ඇයට හිමිවිය. ඒ වනවිටද තත්ත්වය දරුණු අතට හැරෙමින් පැවති හෙයින් පසු දිනම සැත්කම සිදුකීරීමට වෛද්‍ය චින්තන ගලහිටියාව තීරණය කළේය. ඒ පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදීය.
එවකට දාහතර හැවිරිදි වියේ පසු වූ හෂිනි වාසනාගේ වකුගඩු සැත්කම සාර්ථකව නිමවන්නේ ලංකාවේ අඩුම වයසකදී වකුගඩු සැත්කමකට මුහුණ දුන් ප‍්‍රථම දරුවා බවට පත්වෙමිනි. නමුත් වසර පහක් පුරාවටම ඇය පාසල් ගොස් නැත. කුඩා අවධියේ් කෙළිදෙලෙන් ගත කළ පරණ යහළුවන්ගේ මුහුණු දැන් බොඳවී ගොසිනි. හෂිනිගේ රෝගාබාධය මූලාරම්භයේදීම හඳුනාගෙන ඊට ප‍්‍රතිකාර කොට නිසිපරිදි ඇයව පාසල් අධ්‍යාපනයට යොමු කළානම් මේ වනවිට ඇය සාමාන්‍ය පෙළ සිසුවියකි. වකුගඩු බද්ධය සිදුකර මාස දහයක් ගෙවී තිබුණද තවමත් විටින්විට හෂිනිට මාංශපේෂී වේදනා හටගන්නේය. එහෙයින් තවමත් ඇය සිටින්නේ නිවස තුළය.
එළියට බැස දුවපැන සෙල්ලම් කිරීම ඇයට අකැපය. වැඩිහිටියන්ගේ නොසැලකිලිමත්කම සහ මිත්‍යා විශ්වාස හේතුවෙන් හෂිනිගෙන් ගිලිහුණු අවුරුදු පහක කාලය නැවතත් ඇයට හමුනොවූවත් එම වසර පහ තුළ මගහැරුණු සිය අධ්‍යාපන වැඩකටයුතු කෙටි කාලයක් තුළදී සපුරාගෙන ඇය අනාගතයට මුහුණ දිය යුතුව ඇත. ( විශේෂ ස්තූතිය - ශ‍්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ අවයව බද්ධ කිරීමේ අංශයට ) එරංදි කෞශල්‍යා
