“අලුත උපන් බිළිඳෙකුට ග්‍රෑම් 1ක රන් මුද්දක්'' - විජය පොරොන්දු ඉටු කරන්න සැරසේ
තමිල්නාඩු රජය විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත ‘තායිමමන් තංග මෝතිරම්’ හෙවත් ‘තායිමමන් ගෝල්ඩ් රිං’ වැඩසටහන සැප්තැම්බර් 25 වැනිදා ආරම්භ කිරීමට නියමිතව තිබේ.
මෙම වැඩසටහන සැප්තැම්බර් 15 වැනිදා ආරම්භ කිරීමට මීට පෙර සැලසුම් කර තිබුණද, තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය විජය මහතාගේ ලන්ඩන් නිල සංචාරය හේතුවෙන් එය කල්දමා තිබේ.
නව සැලසුමට අනුව මදුරෙයි දිස්ත්‍රික්කයේ උසිලම්පට්ටි ප්‍රදේශයේදී වැඩසටහනේ සමාරම්භක උත්සවය පැවැත්වීමට නියමිත අතර, ප්‍රධාන අමාත්‍ය විජය මහතා විසින් එය නිල වශයෙන් ආරම්භ කිරීමට නියමිතය.
වැඩසටහන යටතේ තමිල්නාඩුවේ රජයේ රෝහල්වල උපත ලබන දරුවන් සඳහා ග්‍රෑම් එකක රන් මුද්දක් ලබාදීමට නියමිතය. 2026 ජුනි 22 වැනිදා සිට රජයේ රෝහල්වල උපත ලැබූ දරුවන් ද මෙම ප්‍රතිලාභය සඳහා සුදුසුකම් ලබන බව සඳහන් වේ.
මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා තමිල්නාඩු රජය මෙම වසරට රුපියල් කෝටි 755.83ක මුදලක් වෙන්කර තිබේ. දකුණු තමිල්නාඩුවේ පවුල් සබඳතා සහ විශේෂයෙන්ම තායිමමන් හෙවත් මව් පාර්ශ්වයේ මාමාගේ භූමිකාවට පවතින සමාජ හා සංස්කෘතික වැදගත්කම සැලකිල්ලට ගනිමින් උසිලම්පට්ටි ප්‍රදේශය සමාරම්භක උත්සවය සඳහා තෝරාගෙන ඇති බවද වාර්තා වේ.
මේ අතර, තමිල්නාඩු රජය පවසන්නේ මාතෘ හා ළමා සෞඛ්‍යය නංවාලීම සඳහා විවිධ වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි.