යුද්ධය අවසන් කිරීමට එකඟ වීමක්? කිසිදා න්‍යෂ්ටික අවි ළඟ තබා නොගන්නා බවට ඉරානය එකඟ වූ බව ට්‍රම්ප් කියයි
අමෙරිකාවේ උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස්, රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ සහ තවත් පිරිසක් ඉරානය සමඟ සාකච්ඡාවලට නායකත්වය දෙන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසූ බව වාර්තා වේ.
ඒ අනුව එහිදී ඔහු පවසා ඇත්තේ, දෙපාර්ශවය අතර එකඟතාවයකට පැමිණීමේ බලාපොරොත්තුවක් තිබෙන බවයි.
"අපි මේ මොහොතේ සාකච්ඡා පවත්වමින් ඉන්නවා. මාර්කෝ, ජේ.ඩී. සහ තවත් පිරිසක් එකතු වෙලා ඒ කටයුත්ත කරගෙන යනවා. අනෙක් පාර්ශවය (ඉරානය) ගිවිසුමකට එන්න කැමැත්තෙන් ඉන්නවා කියලා මට කියන්න පුළුවන්. ඇත්තටම කවුද අකමැති? ඔබ එහි සිටියා නම් බලන්න, ඔවුන්ගේ නාවික හමුදාව විනාශ වෙලා, ගුවන් හමුදාව විනාශ වෙලා, සන්නිවේදන පද්ධති අඩපණ වෙලා. ඒක තමයි ලොකුම ගැටලුව." යනුවෙන් ඔහු පවසා ඇත.
ඉකුත් සිකුරාදා ධවල මන්දිරයේදී තමන්ට "සටන් විරාමයක් අවශ්‍ය නැති" බව සඳහන් කළ ජනාධිපතිවරයා, දැන් එම තීරණය වෙනස් කළේ ඇයිදැයි මාධ්‍යවේදීන් ඇසූ විට සඳහන් කළේ, "කාරණය තමයි ඔවුන් අප සමග කතා කරනවා, ඒ වගේම ඔවුන් දැන් බුද්ධිමත්ව කතා කරනවා." යනුවෙන්.
"මතක තබා ගන්න, මම ඊයේ කිව්වා වගේම මේ හැම දෙයක්ම ආරම්භ වෙන්නේ ඔවුන්ට න්‍යෂ්ටික අවි තිබිය නොහැකියි කියන පදනම මතයි. මම කිව්ව පළවෙනි, දෙවැනි සහ තුන්වැනි කාරණය තමයි ඔවුන්ට න්‍යෂ්ටික අවි තිබිය නොහැකි බව. ඔවුන්ට කිසිසේත්ම න්‍යෂ්ටික අවි ලැබෙන්නේ නැහැ. අපි ඒ ගැන සාකච්ඡා කරමින් ඉන්නවා. මම කලින්ම කියන්න කැමති නැහැ, නමුත් ඔවුන් කිසිදා න්‍යෂ්ටික අවි ළඟ තබා නොගන්නා බවට එකඟ වී තිබෙනවා." යනුවෙන් ජනපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.