ට්‍රම්ප්ට කේන්ති ගිහින් ඉරානය සමග සාම සාකච්ජා නෑ කියයි
ඊශ්‍රායල - ඉරාන යුද ගැටුම් සම්බන්ධව ඉරානය සමග සාම සාකච්ඡා පැවැත්වීම සඳහා තමන් කිසි සේත් සම්බන්ධ වී නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොලඩ් ට්‍රම්ප් පවසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. අමෙරිකානු ජනාධිපතිවරයා පවසා ඇත්තේ ඉරාන න්‍යෂ්ටික වැඩසටහන පිළිබඳව මෑත කාලින සාකච්ඡාවලදී තමන් ඉදිරිපත් කළ ගිවිසුමකට ඉරානය අත්සන් කළ යුතුව තිබූ බවය.
එමෙන්ම ඊශ්‍රායල - ඉරාන යුද ගැටුම් සඳහා තමන් සටන් විරාමයක් සොයන්නේ නැති බවත් සටන් විරාමටකට වඩා හොඳ අවසානයක් සොයන බවත් අමෙරිකානු ජනාධිපතිවරයා පවසා තිබේ. මේ අතර ඉරානයට ඇති බවට චෝදනා එල්ල වී ඇති න්‍යෂ්ටික අවි සම්බන්ධව අදහස් දක්වමින් ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ ඉරානයට න්‍යෂ්ටික අවියක් තිබිය නොහැකිය යන්නය. තමන් ටෙහෙරානයෙන් සියලු ජනතාවට ඉවත් වන ලෙස දැනුම් දුන්නේ තමන්ට අවශ්‍ය වන්නේ මිනිසුන් ආරක්ෂිතව සිටීම බවද අමරිකානු ජනාධිපතිවරයා පවසා ඇත.
අමෙරිකානු ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශයත් සමග ටෙහෙරානයේ ජනතාව අගනුවරින් පිටත්ව යාම ආරම්භ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇති පරිදි අගනුවරින් ජනතාව පිටත්ව යාම ආරම්භ වී ඇති බැවින් එරට මාර්ග රැසක මේ වන විටත් දැඩි රථ වාහන තදබදයක් නිර්මාණය වී ඇතැයිද වාර්තා වී ඇති අතර ටෙහෙරානයේ ප්‍රධාන මාර්ගවල දැඩි රථ වාහන පෝලිම්ද නිර්මාණය වී තිබේ.
එමෙන්ම පවතින තත්ත්වය මත ටෙහෙරානයේ ඉන්ධන පිරවුම්හල් අසල දැඩි පෝලිම්ද නිර්මානය වී ඇති බවද වාර්තා වේ. මේ අතර ඉරාන - ඊශ්‍රායල යුද ගැටුම් තවදුරටත් පවතින අතර ඉරානයේ රජයේ රූපවාහිනි නාලිකාවකටද ඊයේ (16) ඊශ්‍රායලය ප්‍රහාර දියත් කළ අතර ඉරානය අද (17) ඊශ්‍රායලයේ මොසාඩ් බුද්ධි ඒජන්සියේ මූලස්ථානයකට ප්‍රහාර එල්ල කර ඇති බවද වාර්තා වේ.
