පීඩනය දරා ගැනීමට නොහැකිව ආරාමයෙන් ගිය මෙහෙණින් වහන්සේලාට උදව් කළ කාන්තාවකට සිදු වූ දේ..
පොලිසිය විසින්, ප්‍රධාන මෙහෙණින් වහන්සේගෙන් සිදුවන පීඩා හේතුවෙන් සිය ආරාමයේ වැඩ වාසය කිරීමට නොහැකි බව පවසා සිටි මෙහෙණින් වහන්සේ තුන් නමකට එම ආරාමයෙන් පිටව යාමට උදවු කළ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
හාලිඇල ප්‍රදේශයේ පදිංචි 32හැවිරිදි කාන්තාවක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙහිදී, අවුරුදු 12, 15 සහ 18 යන වයස්වල පසුවන අදාළ මෙහෙණින් වහන්සේ තුන් නම තමන් වැඩ සිටි ආරාමයේ ප්‍රධාන මෙහෙණින් වහන්සේගෙන් සිදුවන පීඩා හේතුවෙන් පිරිවෙන් අධ්‍යාපනය කෙරෙහි කලකිරී එම ආරාමයේම නැවතී සිටි අදාළ කාන්තාව සමග පිටව ගොස් තිබෙනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලිසියට පැමිණිලක් ද ලැබී අතර එහි සඳහන්ව ඇත්තේ ආරාමයේ සිටි මෙහෙණින් වහන්සේලා තුන් නමක් සහ කාන්තාවක් අතුරුදන් වී ඇති බවටයි. අදාළ සැකකාර කාන්තාව මෙම මෙහෙණින්වහන්සේලා සමග නුවරඑළිය ප්‍රදේශයේ පිහිටි ඇයගේ ඥාතී නිවසකට පැමිණ තිබෙනවා.
අනතුරුව අදාළ ඥාතීන් විසින් මෙම පිරිස සමග නුවරඑළිය පොලිස් ස්ථානයට ගොස් ඇති අතර එම අවස්ථාවේ දීයි අදාළ කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත්තේ. නීත්‍යානුකූල භාරකාරීත්වයට නොදන්වා මෙහෙණින්වහන්සේලා රැගෙන යාම ඇයට විරුද්ධව ඇති චෝදනාවයි.
අදාළ මෙහෙණින් වහන්සේ තුන් නම ආරක්ෂාව සඳහා පොලිස් භාරයට ගෙන ඇති අතර, වැඩිදුර විමර්ශන සඳහා සැකකාර කාන්තාව මිනුවන්ගොඩ පොලිසිය වෙත භාර දී ඇති බවයි වාර්තා වන්නේ.
