දේශබන්දු තෙන්නකෝන් ඇතුළු 8 දෙනෙකුට වැඩ වරදියි
වැලිගම W15 හෝටලයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු පුද්ගලයින් 8 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් මාතර මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබේ.
2023 දෙසැම්බර් 30 වැනිදා රාත්‍රියේ විශේෂ මෙහෙයුමක් සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයට අයත් පොලිස් නිලධාරීන් 8 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් වෑන් රථයකින් වැලිගම ප්‍රදේශයට ගොස් W15 හෝටලයට වෙඩි තබා ඇති බව සඳහන් වේ.
වෙඩි තැබීමෙන් අනතුරුව පලායමින් සිටි එම නිලධාරීන් ගමන් කළ වෑන් රථයට ව්‍යාජ අංක තහඩු සවිකර තිබූ බවද වාර්තා වේ.
එම වෑන් රථය නතර කරන ලෙස වැලිගම පොලිසියේ නිලධාරීන් අණ කළද, එය නොනවත්වා ධාවනය කර ඇති අතර, එහිදී වැලිගම පොලිසියේ නිලධාරීන් සමඟ කැබ් රථයේ රාජකාරියේ නිරතව සිටි හමුදා නිලධාරියෙකු විසින් සැකකටයුතු වෑන් රථයට වෙඩි තබා තිබේ.
වෙඩි තැබීමේදී වෑන් රථය තුළ සිටි කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් නිලධාරියෙකු වෙඩි වැදී මියගොස් ඇත.
මේ අතර, එවක වැඩබලන පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් එම මෙහෙයුම සඳහා යොමු කර ඇති බවට චෝදනා එල්ල විය.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් දේශබන්දු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගැනීමක්ද සිදුවූ අතර, මෙම සිද්ධිය ඔහුගේ පොලිස්පති ධුරය අහිමි වීමටද බලපෑ කරුණක් බව සඳහන් වේ.