විරාජ් හා පියුමිගෙන් බදු පොල්ල රු. කෝටි 42යි
අවුරා ලංකා සමාගමේ සභාපති විරාජ් තාබුගල සහ නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි ගෝමස් 2022/2023 වර්ෂ සඳහා ගෙවීම පැහැර හැරි රුපියල් කෝටි 42කට ආසන්න ආදායම් බදු, දඩ සහ පොලිය අයකර ගැනීමට කොළඹ මහාධිකරණයේ නඩු පවරන බව දේශීය ආදායම් කොමසාරිස්වරයා අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතාට ඊයේ (31) දැනුම් දුන්නේය.
විරාජ් තාබුගල රුපියල් මිලියන 194ක බදු මුදලක් සහ ‘ලෝලියා ස්කින් කෙයා’ සමාගමේ හිමිකාරිනි පියුමි හංසමාලි රුපියල් මිලියන 225ක බදු මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි කොමසාරිස්වරයා පැවසීය.
මෙම සැකකරුවන්ට එරෙහිව 2017 අංක 24 දරණ දේශීය ආදායම් පනතේ 186, 189 සහ 190 වගන්ති යටතේ බදු පරිපාලනයට බාධා කිරීම, බදු ගොනු නිසි ලෙස පවත්වා නොගැනීම සහ බදු ගෙවීම පැහැර හැරීම යන චෝදනා යටතේ පැමිණිලි ගොනු කර ඇති බව දේශීය ආදායම් කොමසාරිස්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දිනේෂ් පෙරේරා මහතා ප්‍රකාශ කළේය.
විමර්ශනවලදී තාබුගල සහ හංසමාලි රජයට බදු ගෙවීම, බදු වාර්තා ඉදිරිපත් කිරීම සහ බදු ගෙවීමට ලියාපදිංචි වීම පැහැර හැර ඇති බව අනාවරණය වූ බවත්, මේ හේතුවෙන් ඔවුන්ට එරෙහිව මහාධිකරණයේ චෝදනා ගොනු කරන බවත් නීතිඥ පෙරේරා සඳහන් කළේය. මහේස්ත්‍රාත්වරයා, විමර්ශන ප්‍රගතිය දෙසැම්බර් 15 වැනිදා වාර්තා කරන ලෙස දේශීය ආදායම් කොමසාරිස්වරයාට නියෝග කළේය.
