කොවිඩ් පනත් කෙටුම්පතට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කථානායකට

covid19 isolated parliament supreme court mahindha yapa
By Sewvandhi Jul 06, 2021 12:04 PM GMT
Sewvandhi

Sewvandhi

Report

කොවිඩ් පනත් කෙටුම්පතට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කථානායකවරයා වෙත යොමුකර තිබේ. ඒ අනුව කොරෝනා වෛරස් රෝගය තාවකාලික විධිවිධාන පිළිබඳ පනත් කෙටුම්පතේ 2,3,4,6,7 සහ 10 වගන්ති සමග කියවිය යුතු 12වන වගන්තිය සම්බන්ධයෙන් වූ අර්ථ නිරූපණය ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ සඳහන්කර ඇති පරිදි සංශෝධනය කළහොත් එම අනනුකූලතාවය ඉවත්ව යන බවත් ඒ අනුව පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කළ හැකි බවත් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිවේදනය කරයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ,කොරෝනා වෛරස් රෝගය (කෝවිඩ්- 19) තාවකාලික විධිවිධාන නමැති පනත් කෙටුම්පත සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය පාර්ලිමේන්තුවට දැනුම් දෙමිනි. ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් පනත් කෙටුම්පත සම්බන්ධයෙන් විනිසුරුවරුන් දෙදෙනෙක්ගේ තීරණය අනුව පනත් කෙටුම්පතේ 2, 3 ,4, 6 ,7 සහ 10 වගන්ති සමඟ කියවිය යුතු දොළොස් වැනි වගන්තියේ “කොවිඩ්-19 සම්බන්ධිත තත්ත්වය” සම්බන්ධයෙන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 3 සහ 4 (ඇ) ව්‍යවස්ථාවන් සමග අනනුකූල බව දන්වා ඇති බව කථානායකවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

එබැවින් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථවේ 84(2) වැනි ව්‍යවස්ථාවට අනුව විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත කිරීමට අවශ්‍ය වන බව සහ ජනමත විචාරණයක‍දී අනුමත කළ යුතු බවත් සඳහන් කර ඇතැයි ද කථානායකවරයා ප්‍රකාශ කළේය.

එසේ වුවද 12 වැනි වගන්තියේ “කෝවිඩ්- 19 සම්බන්ධිත තත්ත්වය” සම්බන්ධයෙන් වූ අර්ථ නිරූපණය ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කර ඇති පරිදි සංශෝධනය කළහොත් එම අනනුකූලතාවය ඉවත්ව යන බැවින් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කළ හැකි බවද කථානායකවරයා පෙන්වා දෙයි.

එමෙන්ම පනත් කෙටුම්පතේ 4 වැනි වගන්තිය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 136 වැනි ව්‍යවස්ථාව සමඟ කියවිය යුතු 4 (ඇ) ව්‍යවස්ථාව සමඟ අනනුකූල වන බැවින් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 84 (2) වැනි ව්‍යවස්ථාව අනුව විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත කිරීමට අවශ්‍ය වන බවත්, ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කර ඇති යෝජිත සංශෝධනයට අනුව අදාළ සංශෝධන සිදු කරන්නේ නම් ඉහත වගන්තියේ එම අනනුකූලතාව ඉවත්ව යනු ඇති බැවින් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කළ හැකි බවත් කථානායකවරයා පවසයි.

පනත් කෙටුම්පතේ 5,6 සහ 7යන වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාව සමග අනනුකූල වන බැවින් එය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 84 (2) වැනි ව්‍යවස්ථාවට අනුව විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත කිරීම කළයුතු වන බවද කථානායකවරයා නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

පනත් කෙටුම්පතේ අනෙකුත් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල නොවන බැවින් ඒවා පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කළ හැකි බවත් කෙසේ වුවද පනත් කෙටුම්පතෙහි 3(1 ) වගන්තිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ සඳහන් කර ඇති ප්‍රතිපාදන ඇතුළත් කළයුතු බවද ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා ඇති බවත් හෙතෙම සඳහන් කළේය.

ඉහත පනත් කෙටුම්පතේ 2,3,4,6,7,8,9, සහ 10 වගන්ති සමග කියවිය යුතු 12 වැනි වගන්තියේ “කොවිඩ් 19 සම්බන්ධිත තත්ත්වය” සම්බන්ධයෙන් වූ අර්ථ නිරූපණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 සහ 4 (ඇ) සමග අනුකූල වන බැවින් ඒවා පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කළ හැකි බව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ අනෙක් විනිසුරුවරයා තීරණය කර ඇති බවද කථානායකවරයා නිවේදනය කළේය.

කෙසේ වුවද, “කොවිඩ් 19 සම්බන්ධිත තත්ත්වය” සම්බන්ධයෙන් වූ අර්ථ නිරූපණයෙහි (ආ) උප වගන්තිය එහිම (ඇ) උප වගන්තියට උදාහරණයක්වීම යන කරුණු සැලකීමෙන් “කොවිඩ් 19 සම්බන්ධිත තත්ත්වය” සම්බන්ධයෙන් වූ අර්ථ නිරූපණයෙහි සංශෝධනයක් සිදු කළයුතු යැයි ද එම විනිසුරුවරයා සඳහන් කර තිබේ.

පනත් කෙටුම්පතේ 4 වැනි වගන්තිය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 136 ව්‍යවස්ථාව සමග කියවිය යුතු 4(ඇ) ව්‍යවස්ථාව සමග අනනුකූල වන බැවින් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 84(2) වැනි ව්‍යවස්ථාවට අනුව විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත කිරීමට අවශ්‍ය වන බව සහ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කර ඇති යෝජිත සංශෝධනයට අනුව අදාළ සංශෝධන සිදු කරන්නේ නම් ඉහත වගන්තියේ එම අනනුකූලතාවය ඉවත් යනු ඇති බැවින් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කළ හැකි බවද විනිසුරුවරයා සිය තීන්දුවේ සඳහන් කර තිබෙන බව කථානායකවරයා පැවසීය.

එමෙන්ම පනත් කෙටුම්පතේ 5,6,7 සහ 8 වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාව සමග අනුකූල වන බැවින් පාර්ලිමේන්තුවේ සරල බහුතර ඡන්දයෙන් සම්මත කළ හැකි බවද විනිසුරුවරයා සිය තීරණය මගින් දන්වා ඇත. පනත් කෙටුම්පතේ අනෙකුත් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල නොවන බැවින් ඒවා පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කළ හැකි බවද විනිසුරුවරයාගේ තීන්දුවේ සඳහන් වන බව කථානායකවරයා පැවසීය.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha