ඩෙල්ෆ්ට් දූපතේ පෝනි අශ්වයන්ගේ පිපාසය නිවන්න නාවික හමුදාවෙන් පානීය ජලය ලබාදෙයි
‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික වැඩසටහනට සමගාමීව, පවතින දැඩි වියළි කාලගුණික තත්ත්වය හමුවේ පානීය ජල හිඟයෙන් පීඩාවට පත්ව සිටින යාපනය ඩෙල්ෆ්ට් දූපතේ පෝනි අශ්වයන් සඳහා පානීය ජලය සැපයීමට ශ්‍රී ලංකා නාවික හමුදාව පියවර ගෙන තිබේ.
උතුරු නාවික විධානය මගින් මෙම වැඩසටහන පසුගිය 21 වැනිදා ආරම්භ කර ඇත. පවතින වියළි කාලගුණය හේතුවෙන් ඩෙල්ෆ්ට් දූපත ආශ්‍රිත ජල මූලාශ්‍ර සිඳී යාමත් සමඟ පෝනි අශ්වයන් ඇතුළු වන සතුන් පානීය ජල හිඟයට මුහුණ දී සිටින බව නාවික හමුදාව පවසයි.
වියළි කාලගුණයෙන් පීඩාවට පත් ජනතාවට අඛණ්ඩව පානීය ජලය - ජල ගැටලුවක් ඇත්නම් ජනතාව කළ යුතු දේ ගැන දැනුම්දීමක්
ඩෙල්ෆ්ට් දූපතේ ස්වභාවික සුන්දරත්වය සහ ජෛව විවිධත්වය අනාගත පරපුර වෙනුවෙන් ආරක්ෂා කර ගැනීමේ අරමුණින්, උතුරු නාවික විධානයේ ආඥාපතිවරයාගේ අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා නාවික නෞකා ‘වසභ’ ආයතනය මගින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි.
ඒ අනුව, දූපතේ බටහිර කොටසේ වෙල්ලායි ප්‍රදේශයේ ජීවත් වන පෝනි අශ්ව ගහනය සඳහා අඛණ්ඩව පානීය ජලය සැපයීමට කටයුතු කර තිබේ. මේ අතර, යාපනය දිස්ත්‍රික්කයේ ජනතාවගේ පානීය ජල අවශ්‍යතා සපුරාලීම සඳහාද නාවික හමුදාව අඛණ්ඩව කටයුතු කරමින් සිටී.
ඒ යටතේ දූපත් ආවරණය වන පරිදි ස්ථාපිත කර ඇති ප්‍රජා ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු මධ්‍යස්ථාන මගින් දෛනිකව පිරිසිදු පානීය ජලය ජනතාව වෙත ලබාදීමට නාවික හමුදාව පියවර ගෙන තිබේ.