පාතාලයේ ‘බස් ලලිත්’ ඩුබායි හිදී කොටුවෙයි හෙට කටුනායකට රැගෙන එයි

By Kanchana Aug 24, 2026 10:47 AM GMT
Report

ඩුබායි පොලිසිය සමඟ සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකදී අත්අඩංගුවට ගත් ප්‍රබල පාතාල සාමාජිකයෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ලලිත් කන්නන්ගර හෙවත් ‘බස් ලලිත්’ හෙට (25) ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නියමිත බව පොලිසිය පවසයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය සහ රාජ්‍ය බුද්ධි සේවය එක්ව ඩුබායි පොලිසිය සමඟ සිදුකළ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස ‘බස් ලලිත්’ පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන තිබුණි.

මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් ආරියවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ පොලිස් සහ බුද්ධි නිලධාරීන් කණ්ඩායමක් මේ වනවිට ඩුබායි වෙත ගොස් සිටී. ඩුබායි පොලිසිය විසින් අද (24) සැකකරු ශ්‍රී ලංකා නිලධාරීන් වෙත භාරදීමෙන් අනතුරුව, ඔහුව රැගෙන එන ගුවන් යානය දිවයින බලා පිටත්වීමට නියමිත බව සඳහන් වේ.

ජාත්‍යන්තර පොලිසියේ ශ්‍රී ලංකා ශාඛාවේ තොරතුරුවලට අනුව, ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කර තිබූ ශ්‍රී ලාංකික පාතාල අපරාධකරුවන් 16 දෙනෙකු මේ වසර තුළ පමණක් මෙරටට රැගෙන ඒමට හැකිව තිබේ.

ඩුබායි සිට සිය අපරාධ ජාලය මෙහෙයවූ බවට චෝදනා එල්ල වී ඇති ‘බස් ලලිත්’, හංවැල්ල, මීගොඩ සහ කොස්ගම ප්‍රදේශවල ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ගැනීම, බලහත්කාරයෙන් ඉඩම් අත්පත් කර ගැනීම සහ කොන්ත්‍රාත් ඝාතන ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ බව පොලිසිය පවසයි.

කප්පම් ගැනීම් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව පැමිණිලි 15කට වැඩි සංඛ්‍යාවක් ඇති බවත්, ඔහුගේ තර්ජන හේතුවෙන් ඇතැම් ව්‍යාපාරිකයන් සිය ව්‍යාපාර අතහැර ගොස් ඇති බවත් වාර්තා වේ. එමෙන්ම ඉඩම් අත්පත් කර ගැනීම් සඳහා ව්‍යාජ ඔප්පු භාවිත කළ බවටත් ඔහුට චෝදනා එල්ල වී තිබේ.

ඩුබායි සිට කුලී ඝාතකයන් යොදාගෙන ඝාතන හතක් පමණ මෙහෙයවා ඇති බවට පොලිසිය සඳහන් කරන අතර, 2022 දෙසැම්බර් 18 වැනිදා හංවැල්ලේදී ව්‍යාපාරිකයෙකු වෙඩි තබා ඝාතනය කිරීම සහ 2025 අගෝස්තු 12 වැනිදා මීගොඩ, ආටිගල පාර ප්‍රදේශයේදී හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී ශාන්ත මුදුන්කොටුව මහතා වෙඩි තබා ඝාතනය කිරීම ඒ අතර ප්‍රධාන සිදුවීම් ලෙස සඳහන් වේ.

ඩුබායිහිදී අත්අඩංගුවට ගැනීමෙන් පසු ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට එරෙහිව ‘බස් ලලිත්’ එරට අධිකරණයේ නඩුවක් ගොනු කර තිබුණි.

එල්නිනෝ නිසා ලංකාවට යළිත් විදුලි කප්පාදු අවදානමක්? මහජන උපයෝගීතා කොමිසමෙන් හදිසි අනතුරු ඇඟවීමක්

එල්නිනෝ නිසා ලංකාවට යළිත් විදුලි කප්පාදු අවදානමක්? මහජන උපයෝගීතා කොමිසමෙන් හදිසි අනතුරු ඇඟවීමක්

ශ්‍රී ලංකාවට රැගෙන ගියහොත් තම ජීවිතයට තර්ජනයක් ඇතිවිය හැකි බවට ඔහු එහිදී කරුණු ඉදිරිපත් කර තිබූ බව වාර්තා වේ. කෙසේ වෙතත්, ශ්‍රී ලංකා නීතිපති දෙපාර්තමේන්තුව සහ ඩුබායි නීති අංශ අතර සිදුවූ තොරතුරු හුවමාරුව සහ සම්බන්ධීකරණයෙන් අනතුරුව, ඔහුගේ පිටුවහල් කිරීමට එරෙහි අභියාචනය පසුගිය සතියේ ප්‍රතික්ෂේප කර තිබේ.

ඒ අනුව ඔහුව ශ්‍රී ලංකාවට රැගෙන ඒමට අවස්ථාව සැලසී ඇත.