පාසල් කෑම වේල ගැන අගමැතිනියගෙන් විශේෂ නිවේදනයක්- "මේක කෑම දෙන එකට විතරක් සීමා කරන්න බෑ''
බෝ නොවන රෝග (NCD) වර්ධනය වීමට බලපාන මූලික හේතු සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු බව අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.
පාසල් දරුවන්ගේ පෝෂණ තත්ත්වය වැඩිදියුණු කිරීමේ වැඩසටහන් හුදෙක් දරුවන්ට ආහාර ලබාදීමට පමණක් සීමා නොවිය යුතු බවද අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය.
ඇය මේ බව සඳහන් කළේ ලෝක ආහාර වැඩසටහනේ (WFP) නියෝජිතයින් සමඟ අද (24) අරලියගහ මන්දිරයේදී පැවති සාකච්ඡාවකදීය. එහිදී පාසල් පෝෂණ වැඩසටහන් තවදුරටත් ශක්තිමත් කිරීම සහ රට මුහුණ දෙන පුළුල් පෝෂණ හා සෞඛ්‍ය ගැටලු පිළිබඳව අවධානය යොමු වී තිබේ.
ලංකාවේ බෝ නොවන රෝගවල ව්‍යාප්තිය අඛණ්ඩව ඉහළ යාම ප්‍රධාන සෞඛ්‍ය ගැටලුවක් බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරිය, එම රෝග වැඩිවීමට බලපාන සාධක හඳුනාගෙන ඒවාට මූලික මට්ටමේදීම විසඳුම් ලබාදීමේ අවශ්‍යතාව අවධාරණය කළාය.
රජයේ පාසල් පෝෂණ වැඩසටහනේ අරමුණ ඉලක්කගත දරුවන්ට නොමිලේ ආහාර ලබාදීමෙන් පමණක් සීමා නොවිය යුතු බවද ඇය සඳහන් කළාය.
ඒ වෙනුවට පාසල් පද්ධතිය තුළ සෞඛ්‍ය සම්පන්න ආහාර පුරුදු ඇති කිරීම, නිසි ආහාර පරිභෝජන ක්‍රමවේද ප්‍රවර්ධනය කිරීම සහ පෝෂණය පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීම සඳහාද වැඩි අවධානයක් යොමු කළ යුතු බව ඇය පෙන්වා දුන්නාය.
පෝෂණය රටේ තවදුරටත් ප්‍රමුඛ අවධානයක් අවශ්‍ය ක්ෂේත්‍රයක් බවද අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.
සෞඛ්‍ය සම්පන්න ආහාර වේල් ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන් ශක්තිමත් ප්‍රාථමික සහ වැළැක්වීමේ සෞඛ්‍ය සේවාවක් සමඟ ඒකාබද්ධ කිරීමේ වැදගත්කමද ඇය අවධාරණය කළාය.
මෙම සාකච්ඡාව හරහා පාසල් පෝෂණ වැඩසටහන් පුළුල් කිරීම පමණක් නොව, දරුවන්ගේ දිගුකාලීන සෞඛ්‍යය සහ යහපැවැත්ම සඳහා පෝෂණය, සෞඛ්‍ය අධ්‍යාපනය සහ රෝග වැළැක්වීම එකට සම්බන්ධ කළ ප්‍රවේශයක් අවශ්‍ය බව අවධාරණය කර තිබේ.