බොරැල්ලේ නිවසකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයට ආධාර දුන් කාන්තාවක් ඇතුළු 4ක් අත්අඩංගුවට
ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින බව කියන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන 'දක්ෂිණ කපුගේ' හෙවත් 'රනා' නමැත්තාගේ බොරැල්ල ලෙස්ලි රණගල මාවතේ පිහිටි නිවසට පසුගිය (23) දින අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු පැය කිහිපයක් ඇතුළත අත්අඩංගුවට ගැනීමට බොරැල්ල පොලීසිය සමත්ව තිබේ.
ප්‍රහාරය එල්ල කිරීම සඳහා පැමිණි සැකකරුවන් විසින් අතහැර දමා ගොස් තිබූ යතුරුපැදිය කොටිකාවත්ත ප්‍රදේශයේදී පොලීසිය විසින් සොයාගන්නා ලදී.
ප්‍රහාරයට පැමිණි යතුරුපැදියේ ලියාපදිංචි අංකය CCTV කැමරා දර්ශන ඔස්සේ පරීක්ෂා කර අනාවරණය කරගැනීමෙන් අනතුරුව මෙම වැටලීම සිදුකර ඇති අතර, අත්අඩංගුවට පත් පිරිස අතර යතුරුපැදියේ ලියාපදිංචි අයිතිකරු, එය උකස් තැබූ බව කියන ඔහුගේ සහෝදරයා මෙන්ම එය උකස් ගත් බව කියන කාන්තාව සහ තවත් පිරිමි පුද්ගලයෙකු වන බව පොලීසිය සඳහන් කරයි.
පොලිස් විමර්ශනවලට අනුව 'රනා' නමැත්තා ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට පත්ව සිටින 'වනාතේ චතු' නැමැති සංවිධානාත්මක අපරාධකරුගේ සමීපතමයෙකි. සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.