කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්ගෙන් CID යට තරයේ අවවාද. - හේතුව මෙන්න.
කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (26 දා) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට දැඩි ලෙස අවවාද කරනු ලැබුවා.
ඒ, රටේ සම්පත් තව තවත් විනාශ කරමින් කිසිම සැකකරුවකුට සාධාරණ හේතුවක් නොමැතිව නඩු නොපවරන ලෙසයි.
ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විසින් එලෙස අවවාද කර ඇත්තේ, තමා ජනාධිපතිවරණයෙන් ජයගත් පසු මුස්ලිම් ජාතිකයන්ගේ විවාහ සම්බන්ධයෙන් වන ආරවුල් විභාග කිරීමට කාති උසාවි 100 ක් පිහිටුවන බවට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතාට මැතිවරණ පොරොන්දුවක් ලබාදී ඇති බවට අන්තර්ජාලය ඔස්සේ ප්‍රවෘත්තියක් පළ කළේ යැයි චෝදනා කරමින් අරගලයේ ක්‍රියාකාරිකයකු වන සුමිඳු සෙනරත් නමැත්තාට එරෙහිව පවරා තිබූ නඩුවක් කැඳවූ අවස්ථාවේදීයි.
එමෙන්ම සාධාරණ හේතු නොමැතිව නඩු පැවරුවහොත් රජයේ මුදල් පමණක් නොව අධිකරණයේ හා සැකකරුවන්ගේ කාලයත් නිකරුණේ වැයවන බවද එතුමා එහිදී වැඩි දුරටත් අවධාරණය කර තිබෙනවා.
රජයේ රස පරීක්‍ෂකවරයාගේ රස පරීක්‍ෂණ වාර්තාව මේ දක්වා ලැබී නොමැති බැවින් ඒ සම්බන්ධයෙන් සිහි කැඳවීමක් යැවීමට නියෝගයක් කරන්නැයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නිලධාරියා අධිකරණයෙන් ඉල්ලා සිටි අතර ඒ සඳහා කොළයක් වැය කිරීම පවා නුසුදුසු බව තම අධිකරණයට හැඟී යන්නේ යැයිද ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විවෘත අධිකරණය හමුවේදී පවසා ඇත.
සිය සේවාදායකයා එවැනි ප්‍රවෘත්තියක් අන්තර්ජාලයට මුදාහැර ඇත්නම් එය නඩු පැවරීමට තරම් වූ චෝදනාවක් දැයි විමසූ එම සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ සුනිල් වටගල මහතා 2020 වසරේදී ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාර ගත කර පසුව මුදා හල සිය සේවාදායකයාට නිසි පදනමක් නොමැති චෝදනාවක් නිසා වසර ගණනාවක් ධනය හා කාලය වැය කරමින් අධිකරණයට පැමිණීමට සිදුවී ඇති බව ද පවසා තිබෙනවා.
පැමිණිල්ලේ ඉල්ලීම පරිදි රජයේ රස පරීක්‍ෂකවරයා වෙත සිහි කැඳවීමක් යැවීමට නියෝග කළ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා එම නඩුව ලබන මාර්තු 28 වැනිදා යළි කැඳවීමට දින නියම කරනු ලැබුවා.
