ෂොපිං බෑග් හා ලන්ච්ෂීට් තහනම ක්‍රියාත්මකයි.

srilanka politics mahinda amarawera
By Nimal Jul 13, 2021 09:55 AM GMT
Report

විකල්ප මෙතෙක් ඉදිරිපත් වී නොතිබුනත් ෂොපිං බෑග් හා ලන්ච්ෂීට් තහනම ඉදිරි සති කිහිපය තුළ අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කිරීමට පරිසර අමාත්‍යාංශය විසින් තීරණය කර ඇතැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා අවධාරණය කරයි.

අද දින (13) පරිසර අමාත්‍යාංශයේ දී සිංහ සමාජය 306 B 2 දිස්ත්‍රික්කය විසින් 2021-22 කාලය තුළ ක්‍රියාත්මක කිරීමට යෝජිත පාරිසරික කළමනාකරණ සැලැස්ම පරිසර අමාත්‍යාංශයට ඉදිරිපත් කරනු ලැබීය.

එමෙන්ම සිංහ සමාජය 306 B 2 දිස්ත්‍රික්කය හා පාරිසරික වෘත්තියවේදීන්ගේ ආයතනය සමග එම සැලැස්ම ක්‍රියාත්මක කිරීම සම්බන්ධව අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම ද සිදු කරනු ලැබීය.

මෙම සැළැස්ම ක්‍රියාත්මක කිරීමට පරිසර අමාත්‍යාංශය, සිංහ සමාජය 306 B 2 දිස්ත්‍රික්කය හා පාරිසරික වෘත්තිවේදීන්ගේ ආයතනය විසින් ද එකගතාවය පළ කරනු ලැබ තිබේ. මෙම අවස්ථාවට පරිසර අමාත්‍ය මහින්ද අමරවීර, සිංහාධීපති කෞශල්‍ය රාජපක්ෂ, මහාචාර්ය නිරංජනී රත්නායක යන මහත්ම මහත්මීහු ද සහභාගි වූහ. මෙහිදී අදහස් පළ කළ පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා,අපි පරිසර අමාත්‍යාංශය වශයෙන් අප රටේ පාරිසරික සුරක්ෂිතතාවය උදෙසා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කළා. විශේෂයෙන් අපේ රටේ අධික ලෙස භාවිතා වන පොලිතීන් හා ප්ලාස්ටික් තහනම් කිරීම අපි අදියර කිහිපයක් යටතේ කටයුතු ක්‍රියාත්මක කර තිබෙනවා. පසුගිය මාර්තු 31 සිට පොලිතීන් හා ප්ලාස්ටික් නිෂ්පාදන 05ක් අපි තහනම් කරනු ලැබුවා. ඉදිරියේ දී තහනම් කිරීම සඳහා තවත් වර්ග 08ක ලැයිස්තුවක් සකස් කර තිබෙනවා.

ඉන් දෙකක් තහනම් කිරීම සමහර විට ආන්දෝළනාත්මක වේවි. ඒ තමයි ලන්ච්ෂීට් හා ෂොපිං බෑග්. අපේ රටේ වැඩිම පාරිසරික දූෂණයට හේතුවන මෙම වර්ග දෙක දිනපතා පරිසරයට මුදාහැරෙන්නේ මිලියන ගණනින්. එක් සුපිරි වෙළෙඳසැල් ජාලයක් මගින් පමණක් වසරකට ෂොපිං බෑග් බිලියනයක් නොමිළේ පාරිභොගිකයින්ට නිකුත් කරනවා. දිවයිනේ වාර්ෂිකව බැහැර කෙරෙන සමස්ත ෂොපිං බෑග් ප්‍රමාණය කෝටි 200ක් පමණ වෙනවා.

ඒ වගේම තමයි ලන්ච්ෂීට්. ඒවාත් මිලියන ගණනින් පරිසරයට මුදා හරිනවා. අපි මෙම නිෂ්පාදන සඳහා විකල්ප හඳුන්වා දීමට අදාළ අංශ සමග සාකච්ඡා කරනවා. නමුත් තවමත් අවශ්‍යතාවය සපුරන නිෂ්පාදනයක් ඉදිරිපත් වී නැහැ. විකල්ප තිබුනත් නැතත් ලන්ච්ෂීට් හා ෂොපිංබෑග් තහනම් කිරීම අනිවාර්යෙන්ම ක්‍රියාත්මක කරනවා. මේවා භාවිතයට පැමිණීමට පෙර අපි මෙම කටයුතු සඳහා යම් යම් උපකරණ භාවිතා කළා. එමනිසා ඇතැම් විට අපිට ඒවාට නැවත හුරුවෙන්නට සිදුවේවි යැයි ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.