අතිනවීන උපකරණ වරායේ සවි කිරීමට පියවර....

srilanka politics mahinda amarewea
By Nimal Jul 02, 2021 03:34 AM GMT
Report

එක්ස්ප්‍රස් පර්ල් නැව ගිනි ගැනීම වැනි සිදුවීම් නැවත සිදුවුවහොත් ඊට මුහුණ දීමට හැකි සියලු අතිනවීන උපකරණ වරායේ සවි කිරීමට පියවර ගන්නා ලෙස ජනපතිතුමන් අදාල අංශවලට උපදෙස් දුන් බව පරිසර ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

එක්ස්ප්‍රස් පර්ල් නැව කොළඹ වරායට පැමිණියේ වෙනත් රටවලට අයත් වරාය දෙකකට එම නැව සම්බන්ධව පැමිණිළි කළ පසුවයි. නමුත් තොරතුරු ලබා දීමේ දී සිදු වු ගැටළුකාරී තත්ත්වයක් නිසා එම නැවේ ගින්න මැඩ පැවැත්වීම අසීරු වුනා. එම නැවේ කාර්ය මණ්ඩලය ගින්නක් ඇතිවීම සම්බන්ධව නිවැරදිව තොරතුරු ලබා දුන්නා නම් බොහෝ දුරට මෙවැනි විනාශයක් සිදුවීම වළක්වා ගැනීමට හැකියාව තිබුනා යැයිද ය මහින්ද අමරවීර මහතා කීය.

You may like this video


අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (01) මහරගම අපේක්ෂා රෝහලේ පැවැති වැඩ සටහනකට සහභාගි වෙමිනි. කොළඹ වරාය ලොව ඇති හොඳම වරායවලින් එකක්. ඒ නිසා තමයි එක්ස්ප්‍රස් පර්ල් නැව ඔවුන් මුහුණ දී තිබු ගැටළුව විසඳා ගැනීමට අපේ වරායට ආවේ. නමුත් තොරතුරු ලබා දීමේ දී කිසියම් ප්‍රමාදයක් සිදුව ඇති පෙනෙනවා. ඒ කොහොම වුනත් නැවත අපේ සාගර කළාපය තුළ මෙවැනි තත්ත්වයක් සිදු නොවීමට වග බලා ගන්නා ලෙස ජනාධිපතිතුමා අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවේ දී අදාළ අංශවලට තරයේ අවවාද කළා.

ඒ වගේම මෙවැනි හදිසි තත්ත්වයක් මතු වන්නේ නම් ඊට මුහුණ දීම සඳහා සියලු අංශ ශක්තිමත් කිරීමට රජය තීරණය කර තිබෙනවා. විශේෂයෙන් ජනාධිපතිතුමන් උපදෙස් දුන්නේ ලොව අනෙක් වරායවල හදිසි ආපදාවක දී භාවිතා කිරීමට ඇති අති නවීන තාක්ෂණික උපකරණ සම්බන්ධව සොයා බලා ඒවා කොළඹ වරායේත් ස්ථාපිත කරන ලෙසයි. මෙම එක්ස්ප්‍රස් පර්ල් නැවේ වැඩිපුරම තිබී ඇත්තේ ප්ලාස්ටික් බහළුම්. නමුත් ඉන්ධන ගෙන්වන නැවක මෙවැනි ගින්නක් හට ගත්තා නම් තත්ත්වය මීට වඩා වෙනස් වෙන්න තිබුනා. එමනිසා වරාය මෙන්ම අපේ සාගර කළාපය තුළ නැව් මුහුණ දෙන හදිසි ආපදාවන් හිදී ඉන් එම නැව්වල ගමන් ගන්නා කාර්ය මණ්ඩල හා එහි ඇති සම්පත් මෙන්ම අපේ සාගරික පරිසරය හා වෙරළ ආරක්ෂා කර ගැනීමටත් හැකිවන ආකාරයේ උපකරණ ගෙන්වා වරාය සතු හදිසි ආපදා කළමණාකරණ අංශ ශක්තිමත් කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමා උපදෙස් දුන්නා.

එක්ස්ප්‍රස් පර්ල් නැවෙන් සිදුවූ පාරිසරික හානිය අති විශාලයි. ඒ වගේම අපේ රටේ අංශ ගණනාවකට ඉන් බලපෑම් එල්ල වී තිබෙනවා. එම නිසා එම හානිය ගණනය කිරීම මේ වනවිට කමිටු පහකින් සිදු වෙනවා. තවමත් එම කටයුතු අවසන් වී නැහැ.නමුත් පරිසර අමාත්‍යවරයා ලෙස මම දකින්නේ අපේ සාගරික පරිසර පද්ධතියට මෙන්ම වෙරළ කළාපයට සිදු වු හානිය, වායු ගෝලයට සිදු වු හානිය හා මේ නිසා අපේ රටේ මිනිසුන්ගේ මානසික තත්ත්වයට සිදු වු හානිය ගණනය කරන්නේ කොහොමද? කියායි. ඒක ඩොලර්වලින් හෝ රුපියල්වලින් නිශ්චය කළ නොහැකියි. මෙම නැවේ ගින්න නිසා තවමත් අපේ රටේ මිනිස්සු මසුන් අනුභව කරන්නට මැළිකමක් දක්වනවා.

මෙම නැවේ තිබු ප්ලාස්ටික් හා රසායනික ද්‍රව්‍ය ගිනි ගැනීම නිසා මිනිස් සිරුරට අහිතකර තත්ත්වයක් ඇතිවේවි යැයි ඔවුන් විශ්වාස කරනවා. එම තත්ත්වයන් සම්බන්ධ විද්‍යාත්මක කරුණු පැහැදිළි කිරීමක් අදාල අංශ විසින් තවමත් නිසි පරිදි සිදු කර නැහැ. නමුත් ඊට සම්බන්ධ අංශ නිවැරදි දැනුම මහජනතාවට ලබා දිය යුතුයි. නමුත් අපි රජයක් වශයෙන් මෙවැනි සිදුවීම් යළි ඇති නොවීමට වග බලා ගැනීම සඳහා අවශ්‍ය සියලු පියවර ගන්නවා යැයි ද අමාත්‍යවරයා පැවසීය.