විදේශ රැකියා සදහා ශ්‍රමිකයන් සූදානම් කිරීමේ ජාතික වැඩසටහනක් .....

SRILANKA POLITICS NIMALSRIRIPALADA SILWA
By Nimal Jun 27, 2021 06:04 AM GMT
Report

විදේශයන් හි පවත්නා විවිධ වෘත්තීන් 25ක ඉල්ලුමට සරිලන පරිදි මෙරට තරුණ තරුණියන් ලක්ෂයක්(100,000) ඉහළ වෘත්තීක නිපුණතාවයන් සහිතව එම රැකියා සඳහා සූදානම් කිරීමේ ජාතික වැඩසටහනක් ඇරඹෙන බව කම්කරු ඇමති නිමල් සිරිපාලද සිල්වා මහතා පවසයි.

ඇමතිවරයා මෙම අදහස් පළකලේ කම්කරු අමාත්‍යංශයේ අද (27)පැවැති විශේෂ සාකච්ජාවකදිය. කම්කරු අමාත්‍යංශය සහ සංක්‍රමණය සඳහා වන ජාත්‍යන්තර සංවිධානය (IOM) ඒකාබද්ධව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි.

සංක්‍රමණය සඳහා වන ජාත්‍යන්තර සංවිධානයේ  (IOM) ශ්‍රී ලංකා සහ මාලදිවයින් ප්‍රධාන ප්‍රධානී සරත් ධාෂ් මහතා ඇතුළු එම සංවිධානයේ  නියෝජිත පිරිසක් සමඟ පැවති  මෙම සාකච්ඡාවට කම්කරු අමාත්‍යංශ ලේකම් මාපා පතිරණ , විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍යාංශයේ ලේකම් එස්.අරුමෛනාහම් ඇතුළු නිලධාරි පිරිසක් එක්වූහ.

මෙහිදී අදහස් දැක්වූ  IOM සංක්‍රමණ අංශ ප්‍රධානී ශාන්ත  කුලසේකර මහතා පෙන්වා දුන්නේ ඉහළ නිපුනතාවයෙන් යුක්ත ගෘහ පාලිකාවක් හතළිස් දහසක් (40,000) සහ වෙනත් වෘත්තීන් සඳහා 60,000ක පමණ පිරිසකට විදේශ රටවල මේ වනවිට ඉල්ලුමක් ඇති බවය.

එහිදී වෘත්තීය නිපුණතාවය පළපුරුද්ද සේම ඒ රටවල භාෂා දැනුම එම පිරිස් වලට අත්‍යවශ්‍ය සාධකයක් බවය.මෙම වැඩසටහන වසර හතරක් ඇතුළත ක්‍රියාත්මක කිරීමට නියමිතය.එම පුහුණුව නොමිලේ ලබාදීමට සංක්‍රමණය සඳහා වන ජාත්‍යන්තර සංවිධානය  (IOM) මෙහිදී එකඟතාවය පළ කළේය. මෙහි දී අදහස් දැක් වූ කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ,ඉදිරි මාස තුන ඇතුළත එහි පළමු ව්‍යාපෘතිය ලෙස තෝරාගත් වෘත්තීන් දහයකට අදාළව  අවම වශයෙන් ශ්‍රමිකයන් පන්දාහක් ඉලක්ක කර ගනිමින් මෙම පුහුණු පාඨමාලා  ආරම්භ කළ යුතු බවය.

එහි දී මෙම විදේශගත වන ශ්‍රමිකයන්ට එම රටවල්වල ඉල්ලීමට සරිලන ආකාරයට එම වෘත්තීය  පුහුණුව සහ සේවා පළපුරුද්ද ලබා දිය යුතු බවත් , පවතින පුහුණු විෂය නිර්දේශයන් විදේශ රටවල පවතින ශ්‍රම ඉල්ලුමට අනුකූලව සංශෝධනය කරන ලෙසය.එසේම NVQ පදනම ඉක්මවා ගිය ජාත්‍යන්තරව පිළිගනු ලබන වෘත්තීය පුහුණු සහතිකයක්  මෙම පුහුණුව අවසානයේ දී ලබාදීමට කළ  යෝජනාවද  අමාත්‍යවරයා මෙහිදී අනුමත කළේය.

අමාත්‍යවරයා මෙහි දී පෙන්වා දුන්නේ,විශේෂයෙන් පළමුව භාෂා පුහුණුව එම අයට ලබා දෙන ලෙසත් එම පුහුණුව සාර්ථකව නිම කරන අය වෘත්තිය පුහුණුව සඳහා සම්බන්ධ කර ගන්නා ලෙස ද අමාත්‍යවරයා ඉල්ලීමක් කළේය. එසේම විදේශගත වන එම ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව,ඉහල  ස්ථිර වැටුප්  ලබාදීම,එසේම ඔවුන්ට ඉහළ ප්‍රතිලාභ සහිත රක්ෂණ ආවරණයක් ලබා දීම ද  කළ යුතු බව ඇමැතිවරයා අවධාරණය කළේය.මේ සඳහා ඉදිරි සැලැස්මක් සකස් කරන ලෙසත් විදේශ රැකියා සඳහා  පිටත්වීමට නියමිතව සිටින අයට මේ  වන විට බරපතළ අර්බුදයක් පවතින කොවිඩ් රෝගය සඳහා වන එන්නත ලබාදීම පිළිබඳව අදාළ බලධාරීන් සමග ඉදිරියේ දී සාකච්ඡා කර ක්‍රියාමාර්ග ගනු ලබන බව ද ඇමතිවරයා   මෙහි දී පැවසීය. 

වයස අවුරුදු තිහට අඩු (30 )අඩු පුද්ගලයින් සඳහා කොවිඩ් එන්නත ලබා නොදෙන බැවින්, විදේශගත වන පිරිසෙන් වැඩි ප්‍රතිශතයක් එම වයස් කාණ්ඩයට   ඇතුළත් වන නිසා ඒ පිළිබඳ විශේෂයෙන් අදාළ අංශ සමඟ සාකච්ඡා කර විසඳුමක් ලබාදීමට ද ඇමතිවරයා එකගවිය.