නැව ගිනිගැනීමෙන් සිදුවු පරිසර හානිය ඩොලර්වලින් ගණනය කළ නොහැකියි....

srilanka politics nihinda amarawera
By Nimal Jun 10, 2021 07:42 AM GMT
Nimal

Nimal

Report

 එක්ස්ප්‍රස් පර්ල් නැව ගිනි ගැනීම නිසා සිදු වී ඇති පරිසර හානිය තවත් වසර 20ක් යන තෙක් පවතිනු ඇති බවත්,මෙම නැව ගිනිගැනීම නිසා සිදුවිය හැකි පරිසර හානිය ඩොලර්වලින් ගණනය කර කිසිසේත්ම ඊට හිළව් කළ නොහැකි  බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ අද දින පරිසර අමාත්‍යාංශයේ දී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි. එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා ,මේ වනවිට ගිලී ගිය නැවෙන් තෙල් කාන්දුවක් සිදුවෙනවාද යන්න සම්බන්ධව ජනමාධ්‍ය විසින් මගෙන් කරුණු විමසනවා.

එමනිසා මම සමුද්‍රීය පරිසර අධිකාරියෙන් ඒ සම්බන්ධව විමසීමක් කළා. ඒ ගැන විමර්ශණයට හා අදාල තෙල් සාම්පල ලබා ගැනීම සඳහා දැනටමත් තම ආයතනයේ පිරිසක් නැව අසළට යවා ඇතැයි එම ආයතනයේ සභාපතිනිය මට දැනුම් දුන්නා. මම මේ නැවේ ප්‍රවාහණය කළ භාණ්ඩ ලැයිස්තුවක් ගෙන්වා ගත්තා. භාණ්ඩ වර්ග 193ක් මෙහි බහලුම් 1486ක පමණ තිබුනා. ඒ වගේම ප්ලාස්ටික් පැලට්ස් අඩංගු බහළුම් විශාල ප්‍රමාණයක් මෙහි අන්තර් ගත වී තිබෙනවා.

You may like this video


අපේ රටේ ප්‍රධාන සමාගම් දෙකකට මාස දෙකකට අවශ්‍ය ප්ලාස්ටික් පැලට්ස් මෙම නැවේ තිබුනා. අපේ රටේ ප්ලාස්ටික් හා පොලිතීන් ආශ්‍රිත නිෂ්පාදනයන් සිදු කරන ප්‍රධාන සමාගම් 08ක් තිබෙනවා. නැව ගිලී යාම නිසා සාගරයට එක් වු ප්ලාස්ටික් වෙරළට ගොඩ ගැසු පසු ඉන් විශාල කොටසක් මේ වනවිට එක් රැස් කර ගෙන තිබෙනවා. තවත් කොච්චර ප්‍රමාණයක් සාගරය තුළ මෙන්ම මසුන් විසින් කා දමන්නට ඇත්දැයි අපි දන්නේ නැහැ.

මට තිබෙන තොරතුරු අනුව වෙරළට ගොඩගැසු ප්ලාස්ටික් පැලට්ස් එකතු කර ඒවා මේ වනවිට බහළුම් 40ක විනාශ කිරීම සඳහා ගබඩා කර තිබෙනවා. එතකොට අවුරුද්දකට කෙතරම් ප්ලාස්ටික් තොගයක් අපේ රටට ගෙන්වනවාද කියා ඔබට සිතා ගත හැකියි. මින් සියයට 10කටත් අඩු ප්‍රමාණයක් ප්‍රතිචක්‍රියකරණය අතර අනෙක් ඒවා පරිසරයට එක් වෙනවා. එක්ස්ප්‍රස් පර්ල් නැව ගිලීයාම නිසා සිදුව ඇති විනාශයට වන්දි ලබා ගන්නවා වගේම ඊට වගකිව යුතු සියලු දෙනා හඳුනාගෙන දඩුවම් කළ යුතුයි. ජනාධිපතිතුමන් විසින් ලබා දී ඇති උපදෙස් පරිදි දැනටමත් අපරාධ විමර්ශණ දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධව විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

එමෙන්ම මේ සම්බන්ධව දැනටමත් නඩු දෙකක් පැවරීමට කටයුතු කර ඇති බව අධීකරණ ඇමැතිතුමා අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී ප්‍රකාශ කළා. නමුත් පරිසර අමාත්‍යවරයා විදියට මමකියන්නේ එක්ස්ප්‍රස් පර්ල් නැව ගිලී යාම නිසා සිදුවු හානිය ඩොලර්වලින් මැනිය නොහැකියි. විශාල පරිසර හානියක් මේ නිසා සිදු වුනා. කැස්බෑවුන්, ඩොල්පින් වැනි මුහුදු ජීවින්ගේ මළසිරුරු දැන් ගොඩබිමට මුහුදු රැළ ඔස්සේ පාවී එනවා. මේ විනාශයට සම්බන්ධ සියලු දෙනාට නීත්‍යානුකූලව දඩුවම් ලබා දිය යුතුයි.

මෙහිදී මෙම වරද කළ පුද්ගලයින් හඳුනාගෙන ඇත්දැයි මාධ්‍යවේදීහු අමාත්‍යවරයාගෙන් කරුණු විමසු අවසථාවේදී ඊට පිලිතුරු දුන් අමාත්‍යවරයා, දැනට වාර්තා වී තිබෙන ආකාරයට මේ නැවේ රසායනික ද්‍රව්‍ය කාන්දුවීමක් සම්බන්ධව වරායට හෝ හාබර් මාස්ටර්ට දැනුම් දී නැති බව පෙනෙනවා. එමනිසා නැවේ කපිතාන් මෙන්ම එම නැව් සමාගමේ අපේ රටේ ඒජන්තවරයාත් වගකිව යුතුයි. ඒ වගේම VDR උපකරණය මගින් වගකිව යුතු තවත් පුද්ගලයින් හෙළිදරව් වේවි. ඒ සියලු දෙනාටම දඩුවම් ලබා දිය යුතුයැයි ද ඇමැතිවරයා සඳහන් කළේය.