හැම මාසයකම පාසැල් 120කට විශේෂ බහළුම් ....

srilanka nature mahinda amarawera
By Nimal Jul 27, 2021 04:08 AM GMT
Nimal

Nimal

Report

අපේ රටේ පාසැල් පද්ධතිය තුළ දෛනිකව පාවිච්චි කරන ලද කාබන් පෑන් හා දත්බුරුසු විදිමත් ව බැහැර කරලීමට පරිසර අමාත්‍යාංශය විසින් නීතියක් නොව විනයක් යනුවෙන් වැඩ පිළිවෙළක් ආරම්භ කර ඇතැයි පරිසර ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

ඒ අනුව ප්‍රතිචක්‍රියකරණය සඳහා එක්වර කාබන් පෑන් 3000ක් හා දත්බුරුසු 500ක් දැමිය හැකි විශේෂ බහාළුමක් බැගින් පාසැල්වලට ලබා දීමට සැලසුම් කර ඇත. මේ සඳහා රජයේ කිසිදු මුදලක් වැය නොකරන ලෙස පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් නිලධාරින්ට උපදෙස් දී තිබේ.

මේ වනවිට මෙම වැඩ සටහන සඳහා පුද්ගලික අංශයේ ආයතන රැසක් පරිසර අමාත්‍යාංශය හා එකඟතාවන් ඇති කර ගෙන ඇත. ඒ අනුව අපේ රටේ ප්‍රමුඛ ව්‍යාපාරික ආයතනයක් වන හේමාස් හෝල්ඩිංග් පීඑල්සී විසින් මෙම වැඩ පිළිවෙළ සඳහා එක්වීමට එකඟතාවය පළ කර ඇති අතර ඊට අදාළ ගිවිසුම්ගත වීම පසුගියදා පරිසර අමාත්‍යාංශයේ දී සිදු විය.

ඒ අනුව එම සමාගම විසින් මාසයකට පාසැල් 120කට අවශ්‍ය බහාළුම් ලබා දෙන අතර 2022 අප්‍රේල් මාසය දක්වා පාසැල් 1200කට අවශ්‍ය බහාළුම් ලබා දීමට නියමිතය. මීට අදාල එකඟතා පත්‍රයට පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාත්, හේමාස් හෝල්ඩිංග් පීඑල්සී විධායක අධ්‍යක්ෂිකා කස්තුරි සේල්වරාජා විල්සන් මහත්මියත් අත්සන් තැබීය. මෙම අවස්ථාවට විධායක අධ්‍යක්ෂ ශිරෝමි මාස්කෝරාළ, ජ්‍යෙෂ්ඨ කළමනාකාර ඉෂාණී රණසිංහ හා කළමනාකාර මින්දික තිලකරත්න යන අය ද සහභාගි වූහ.

මෙහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා - අවිදිමත්ව පරිසරයට බැහැර කරන කාබන් පෑන් හා දත්බුරුසු දිරාපත්වීම සඳහා වසර 400-500 දක්වා කාලයක් ගත වන බව තහවුරු වී ඇතැයි පැවසීය. අපේ රටේ රජයේ පාසැල් පද්ධතියෙන් පමණක් දිනකට හිස් කාබන් පෑන් කිලෝග්‍රෑම් 80- 100ක් අතර ප්‍රමාණයක් බැහැර කරනවා. අනෙකුත් රාජ්‍ය හා පුද්ගලික ආයතන මෙන්ම පුද්ගලයින් විසින් භාවිතා කර බැහැර කරන කාබන් පෑන් සම්බන්ධව මෙතෙක් නිවැරදි තොරතුරු නැහැ. ඒ වගේම භාවිතයෙන් පසු ඉවත ලන දත් බුරුසු ප්‍රමාණය කොතෙක්දැයි මෙතෙක් කිසිදු ගණන් බැලීමක් කර නැහැ.

අඩුම තරමින් අපේ පරිසරයට දිනකට ලක්ෂ 10ක් වත් දත්බුරුසු බැහැර කරන බව අනුමාන කළ හැකියි. ඒ කොහොම වුනත් මේවා සියල්ලම නිෂ්පාදනය කර තිබෙන්නේ ප්ලාස්ටික්වලින් . මේවා දිරාපත් වන්නට විශාල කාලයක් ගත වෙනවා. දිරාපත් වුනත් ක්ෂුද්‍ර ප්ලාස්ටික් අණු වශයෙන් ඒවා අපේ පසටත්, අවසානයේ අපේ ආහාරවලටත් එක් වෙනවා. එමනිසා පරිසර අමාත්‍යාංශය විසින් මේ රටේ පොලිතීන් හා ප්ලාස්ටික් භාවිතය අවම කිරීමට ගෙන යන වැඩ පිළීවෙළ යටතේ කාබන්පෑන් හා දත්බුරුසු සඳහා යොදා ගන්නා ප්ලාස්ටික් වෙනුවට ඉක්මනින් දිරාපත් වෙන විකල්ප හදුන්වා දීමට කටයුතු කරනවා යැයි ද පැවසීය.