නාවින්න කොව්ඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය හෙට සිට.....

srilanka health pavithra wraanniacchchi
By Nimal Jun 02, 2021 11:00 AM GMT
Nimal

Nimal

Report

 දිවයින පුරා ආයුර්වේද රෝහල් 50 ක් අතරමැදි කොවිඩ් ප්‍රතිකාර සේවාවන් සපයන මධ්‍යස්ථාන බවට පත් කිරීමට ජනාධිපතිතුමා ලබාදුන් උපදෙස් පරිදි මහරගම, නාවින්න බණ්ඩාරනායක ආයුර්වේද පර්යේෂණ රෝහල අතරමැදි කොව්ඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් සකස් කොට හෙට සිට ප්‍රතිකාර සේවාවන් ක්‍රියාත්මක කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.

ඇමතිතුමිය එසේ පැවසුවේ අද දිනයේ මහරගම නාවින්න බණ්ඩාරනායක ආයුර්වේද පර්යේෂණ රෝහලේ නිරීක්ෂණ චාරිකාවට එක් වු අවස්ථාවේදීය.

මෙම අවස්ථාවට දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා ද එක්ව සිටියහ. මෙහි ප්‍රතිකාර සේවාවන් හෙට දින සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය.නාවින්න කොව්ඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය හෙට සිට..... | Srilanka Health

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරිය - “දිවයිනේ තිබෙන ආයුර්වේද රෝහල් කොව්ඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා ලෙස ජනාධිපතිතුමා උපදෙස් දෙනු ලැබුවා. ඒ අනුව දිවයිනේ ආයුර්වේද රෝහල් 50 ක් පමණ ඉදිරියේ දී කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීමට එක් වෙනවා. ආයුර්වේදයේ සහ බටහිර වෛද්‍ය විද්‍යාවේ වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ රෝගීන්ට මෙහි ප්‍රතිකාර කටයුතු සිදු කෙරෙනවා. ආයුර්වේදයේ ඇති රෝගීන්ගේ ප්‍රතිශක්තිය වැඩිකරන ඖෂධ වගේම බටහිර වෛද්‍ය විද්‍යාව අනුව කොවිඩ් ප්‍රතිකාර සේවාවන් ද එකට එකතු කරගෙන ප්‍රතිකාර සේවා ලබාදෙනු ලබනවා

 මහරගම අපෙක්ෂා රෝහලට සම්බන්ධ කොට අධීක්ෂණ කටයුතු සිදු කරන මෙම ආයුර්වේද රෝහල ඇඳන් 100 කින් යුක්ත වේ. පිරිමි 65 ක්, ගැහුණු 35 ක් සහ භික්ෂූන් වහන්සේලා 10 කට ප්‍රතිකාර ලබාගත හැකි භික්ෂූ වාට්ටුවකින් ද යුක්තය. දෛනිකව රෝගීන් පරීක්ෂා කිරීමේ කටයුතු සදහා කොවිඩ් ප්‍රතිකාර පිළිබදව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් විශේෂ පුහුණුවක් ලබාදුන් ආයුර්වේද වෛද්‍යවරු ඇතුලු රෝහල් කාර්ය මණ්ඩලය යොදවා ඇත. බටහිර වෛද්‍යවරු මහරගම අපෙක්ෂා රෝහලෙන් අනුයුක්ත කිරීමට පියවර ගෙන ඇත. මෙහි ප්‍රතිකාර ලබන රෝගීන්ට ඔක්සින් පහසුකම් ද සපයා දීමට කටයුතු යොදා ඇත.

කොවිඩ් රෝගීන් ලියාපදිංචියේ සිට සුවය ලබා රෝහලින් පිටව යන තෙක් රෝගීන්ගේ දත්ත මෙන්ම කොවිඩ් ප්‍රතිකාර සේවාවන් සදහා වෙන්කෙරුණු ආයුර්වේද රෝහල් 50 ක් එකට සම්බන්ධ කරමින් එම රෝහල්වල සියළු තොරතුරු නව පරිගණක මෘදුකාංගයක් මගින් එකට සම්බන්ධ කොට ඇත. එමගින් සෞඛ්‍ය සේවා සැපයීමේ දී විනිවිදභාවයකින් ගැටළු අවම කරගනිමින් ප්‍රතිකාර සේවාවන් ලබාදීමේ අවස්ථාව උදාව ඇත. මෙම ආයුර්වෙද රෝහල කොවිඩ් අතරමැදි ආයතනයක් ලෙස ප්‍රතිසංවිධානය කිරීමේ දී යුධ හමුදාවේ 10 ශ්‍රී ලංකා ආරක්ෂක බලමුළුවෙන් ශ්‍රම දායකත්වය ලබා දී ඇත.

මෙම අවස්ථාවට දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම් කුමාරි වීරසේකර, ආයුර්වේද කොමසාරිස් මේදාවි දිසානායක, ආයුර්වේද පර්යේෂණ රෝහලේ අධ්‍යක්ෂ ආචාර්ය සේනක පිලපිටිය, නියෝජ්‍ය අධ්‍යක්ෂ ස්වර්ණා කළුතොට, අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ කාර්යභාර වෛද්‍ය නිලධාරී පී. හේවාගමගේ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සුනිල් ද අල්විස්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා) වෛද්‍ය ලාල් පනාපිටිය මහතා ඇතුලු පිරිසක් එක්ව සිටියහ.