කුකුළු මස් හා බිත්තර කර්මාන්තය ගැන විශේෂ සාකච්ඡාවක්
කුකුළු මස් හා බිත්තර කර්මාන්තය විධිමත්ව පවත්වාගෙන යමින් රටේ කුකුළු මස් හා බිත්තර අවශ්‍යතාව අඛණ්ඩව සපුරාලීම හා එම නිෂ්පාදන සාධාරණ මිලකට පාරිභෝගිකයා අතට පත් කිරීම පිළිබඳ රජයේ අවධානය යොමුව තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය අංශය පවසුවේ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (26) ජනාධිපති කාර්යාලයේ දී පැවැති සාකච්ඡාවකදී මේ පිළිබඳව අවධානය යොමුව ඇති බවයි.
එමෙන්ම සත්ව ආහාර සඳහා යොදා ගන්නා බඩඉරිඟුවලින් මේ වන විට දේශීයව නිෂ්පාදනය කර ඇති ප්‍රමාණයත්, ඉදිරියේදී නිෂ්පාදනය කිරීමට අපේක්ෂිත ප්‍රමාණයත් ගණනය කර ආනයනය කිරීමට අත්‍යාවශ්‍ය බඩඉරිඟු ප්‍රමාණය සම්බන්ධ වාර්තාවක් සකස් කරන ලෙසද සාගල රත්නායක මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරින්ට උපදෙස් දී තිබෙනවා.
එම වාර්තාව කඩිනමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කරන බව ද ඒ මහතා ප්‍රකාශ කර ඇති අතර සත්ව ආහාර ලෙස යොදා ගන්නා බඩඉරිඟු නිෂ්පාදනය හා එහි මිල ගණන් සම්බන්ධව පවතින ගැටලු කෙරෙහි මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර වාර්ෂික බඩඉරිඟු අවශ්‍යතාවයෙන් ආනයනය කළ යුතු ප්‍රමාණය සඳහා අවශ්‍ය බලපත්‍ර නිකුත් කිරීම කඩිනම් කිරීමට පියවර ගන්නා ලෙස සාගල රත්නායක මහතා උපදෙස් ලබා දී තිබෙනවා ලෝක වෙළඳපොළේ බඩඉරිඟු මිල පහළ ගොස් තිබෙන අවස්ථාවලදී ආනයනය කිරීමෙන් දේශීය බඩඉරිඟු අවශ්‍යතාවය අර්බුදයකින් තොරව සපුරාලිය හැකි බව ද මෙහිදී පෙන්වා දී තිබෙනවා.
දැනට පවතින සහල් අවශ්‍යතාවය ඉක්මවා දේශීය සහල් නිෂ්පාදනය සිදුව ඇති හෙයින් අතිරික්ත සහල්වලින් කොටසක් සත්ව ආහාර සඳහා යොදාගැනීම පිළිබඳව ද අවධානය යොමු වූ අතර සත්ව ආහාර සඳහා සහල් යොදාගැනීම කෙරෙහි රජය විසින් පනවා ඇති සීමා ලිහිල් කිරීම සම්බන්ධයෙන් ද සාකච්ඡා වී තිබෙනවා.
ඒ අනුව රටේ ජනතාවගේ සහල් පරිභෝජන අවශ්‍යතාවයත් මේ වන විට පවතින සහල් නිෂ්පාදනයත් නිවැරදිව ගණන් බලා පවතින අතිරික්ත සහල් තොග ගණනය කර කඩිනමින් වාර්තාවක් සකස් කරන ලෙස සාගල රත්නායක මහතා කෘෂිකර්ම හා වෙළෙඳ අමාත්‍යාංශ නිලධාරීන්ට දැනුම් දී තිබෙනවා
අතිරික්ත සහල් තොග මේ සඳහා යොදා ගැනීමෙන් වී ගොවියාගේ වී මිල අඩු නොවී ස්ථාවරව පවත්වා ගෙන යාමටත්, සත්ව ආහාර සඳහා ආනයනය කළ යුතු බඩ ඉරිඟු අවශ්‍යතාවය අඩුකර ගැනීමට ඇති හැකියාවත් මෙහිදී පෙන්වා දුන් අතර එමඟින් බඩඉරිඟු ආනයනය සඳහා වැයවන විදේශ විනිමය ඉතිරි කර ගැනීමට හැකි බව ද සාගල රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.