ලංකාවට රතු එළියක් - ඉක්මන් නොකළොත් ලෝක අමාරුවක වැටෙන බවට අනතුරු ඇඟවීමක්
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා විසින් ශ්‍රී ලංකාවේ අපනයන ආදායම සහ ආනයන වියදම අතර පරතරය ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතින බව සඳහන් කරයි.
ඒ අනුව විශේෂයෙන්ම 2025 වර්ෂයට සාපේක්ෂව 2026 වර්ෂය තුළ වෙළඳ හිඟය ක්‍රමයෙන් වර්ධනය වන බව මහාචාර්ය පෙන්වා දෙයි.
ඔහු පෙන්වා දෙන ආකාරයට 2026 වර්ෂයේ මුල් මාස හතර තුළ ශ්‍රී ලංකාව භාණ්ඩ ආනයනය කිරීමට ඩොලර් බිලියන 8.23 ක මුදලක් වැය කර තිබෙනවා.
එසේ වුවත් අඳාළ කාලසීමාව තුළ භාණ්ඩ අපනයනයෙන් උපයා ඇත්තේ ඩොලර් බිලියන 4.53 කට ආසන්න ප්‍රමාණයක් වේ.
එබැවින් අපනයන මඟින් උපයන ආදායම මෙන් දෙගුණයකට වඩා වැඩි මුදලක් ආනයනයට වැය කිරීමට සිදුව ඇති බවත්, මෙය රටේ ආර්ථිකයට හිතකර තත්ත්වයක් නොවන බවත් ඔහු පවසයි.
තවද වසන්ත අතුකෝරළ මහතා ප්‍රකාශ කර ඇත්තේ රටේ ප්‍රධාන අපනයන ක්ෂේත්‍රයක් වන රෙදිපිළි හා ඇඟලුම් අපනයනය තුළද සැලකිය යුතු පසුබෑමක් දක්නට ලැබෙන බවයි.
ඒ අනුව 2025 වර්ෂයේ මුල් මාස හතර තුළ ඇඟලුම් අපනයනයෙන් ඩොලර් මිලියන 1,752 ක් උපයා තිබුණද, 2026 වර්ෂයේ එම කාලය තුළ උපයා ඇත්තේ ඩොලර් මිලියන 1,625 ක් පමණක් වේ.
එබැවින් ඉකුත් වසරට සාපේක්ෂව මෙම වසරේ මුල් මාස හතර තුළ ඇඟලුම් ආදායම ඩොලර් මිලියන 127 කින් පමණ පහත වැටී තිබෙන බව සඳහන්.
එබැවින් මෙම වෙළඳ හිඟය තවදුරටත් වර්ධනය වීම ආර්ථිකයට සුභවාදී නොවන බව සඳහන් කරන මහාචාර්ය අතුකෝරළ මහතා, පවතින වෙළඳ ශේෂයේ හිඟය අවම මට්ටමකට ගෙන ඒමට කඩිනම් පියවර ගත යුතු බව පවසයි.