2030 සංචාරක ක්ෂේත්‍රයේ පෙරළියක් - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

Report

2030 වසර වන විට මෙරටට පැමිණෙන සංචාරකයින් සංඛ්‍යාව මිලියන පහ දක්වා ඉහළ නැංවීමත්, සංචාරක ක්ෂේත්‍රයේ රැකියා නියුක්තිකයන් සංඛ්‍යාව 800,000 දක්වා වර්ධනය කිරීමත් සහ ඩොලර් බිලියන 10ක ආදායමක් උපයා ගැනීම රජයේ '2030 ජාතික සංචාරක දැක්ම' හි ප්‍රධාන අරමුණ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.

සුළු මොහොතකට පෙර හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට මරණ දඬුවම නියම වේ

සුළු මොහොතකට පෙර හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට මරණ දඬුවම නියම වේ

අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළේ ජූලි 31 වන දින බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ (BMICH) පැවැති ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනයේ (SLITHM) 45 වන උපාධි ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි. 1964 වසරේදී 'ලංකා හෝටල් පාසල' ලෙස ආරම්භ කෙරුණු ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය, වසර 60කට වැඩි කාලයක් පුරා දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ඇගයීමට ලක්වූ වෘත්තිකයන් ක්ෂේත්‍රයට දායාද කිරීමට සක්‍රියව දායක වී තිබේ.

මෙම උත්සවයේදී පාඨමාලා සාර්ථකව නිමකළ සිසුන් වෙත සහතිකපත්‍ර හා සම්මාන පිරිනැමීම ද අග්‍රාමාත්‍යතුමිය අතින් සිදු විය. අනතුරුව පැමිණ සිටි පිරිස ඇමතූ අග්‍රාමාත්‍යතුමිය, 'දිට්වා' සුළිකුණාටුව ඇතුළු විවිධ අභියෝග හමුවේ වුවද ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය ප්‍රශංසනීය ලෙස නැගී සිටි බවත්. මෙ වන විට සංචාරක ක්ෂේත්‍රය ආර්ථිකය නැවත ගොඩනැගීමේ ප්‍රධාන බලවේගයක් බවට පත්ව ඇති අතර, 2025 වසරේදී සංචාරක ක්ෂේත්‍රයෙන් උපයාගත් ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 3.2ක් පමණ වන බවත් පැවසුවාය.

එමෙන්ම 2026 ජනවාරි සිට ජූලි දක්වා කාලය තුළ සංචාරකයින් මිලියන 1.3 කට අධික සංඛ්‍යාවක් මෙරටට පැමිණ ඇති අතර, ක්ෂේත්‍රයේ සෘජු හා වක්‍ර රැකියා නියුක්තිය ද 429,000 ඉක්මවා තිබෙන බවද පැවසීය. අනාගත ඉලක්ක සපුරා ගැනීමට තාක්ෂණික දැනුම මෙන්ම පාරිසරික වගකීම, වෘත්තීය ගෞරවය, වෙනස්වීම්වලට හැඩගැසීමේ හැකියාව සහ ගුණාත්මක සේවාවක් සැපයීමට කැපවූ වෘත්තිකයන් ක්ෂේත්‍රයට අවශ්‍ය වන බව අග්‍රාමාත්‍යතුමිය මෙහිදී අවධාරණය කළාය.

ආබාධිත පුද්ගලයන්ට ද සංචාරක ක්ෂේත්‍රයේ අවස්ථා නිර්මාණය කරදීමට SLITHM ආයතනය ගෙන ඇති පියවර පැසසුමට ලක් කළ අග්‍රාමාත්‍යතුමිය සුරක්ෂිත සේවා පරිසරයක් තුළ කාන්තා සහභාගීත්වය ඉහළ නැංවීමේ වැදගත්කම ද පෙන්වා දුන්නාය. මෙම අවස්ථාවට සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ, සංචාරක අමාත්‍යාංශයේ ලේකම් ධීර හෙට්ටිආරච්චි, SLITHM සභාපති වසන්ත මන්ත්‍රීපාල යන මහත්වරුන් ඇතුළු ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්, රාජ්‍ය තාන්ත්‍රිකයන්, ආචාර්ය මණ්ඩලය සහ උපාධිධාරීන්ගේ පවුල්වල සාමාජිකයෝ රැසක් එක්ව සිටියහ.