පොලිසියේ 4000කට එකවර කරන්න යන දේ මෙන්න..පුරප්පාඩුත් 16000ක්..

Police spokesman Sri Lanka Police Sri Lanka
By Aruna Oct 27, 2022 03:59 AM GMT
Aruna

Aruna

Report

දැනට රාජකාරියෙහි නිරත පොලිස් නිලධාරීන් 4000ක් පමණ නිසි සෞඛ්‍ය පරිසාධන මට්ටමේ නොසිටින බැවින් එම නිලධාරීන්ගේ සේවය අවසන් කිරීමට මහජන ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාරක සභාවේ අවධානය යොමුව ඇත.

මේ පිළිබඳ අවධානය යොමු වූයේ මහජන ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාරක සභාවේ පළමු රැස්වීම එහි සභාපති ඇමැති ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (20 දා) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී ය.

මෙහිදී ඊට එක්ව සිටි මන්ත්‍රීවරුන් පැවසුවේ යහපත් සෞඛ්‍ය මට්ටමේ නොසිටින බෙහෝ පිරිසක් පොලිස් සේවයේ සිටින බවත් ඔවුන් වෛද්‍ය සහතික පෙන්වා අපහසු රාජකාරීන්වල නොයෙදෙන බවත්ය.

මෙම ඇතැම් නිලධාරීන් එසේ සෞඛ්‍ය අපහසුතාවන්ගෙන් නොපෙළෙන බව ද මේ නිසා නිරතුරුවම රාජකාරිය නිවැරදිව ඉටුකරන නිලධාරීන් අපහසුතාවට පත්වන බව ද ඔවුහු කීහ.

මෙහිදී ඇමැති ටිරාන් අලස් මහතා උපදෙස් දුන්නේ සෞඛ්‍ය පරිසාධන මට්ටමේ නොසිටින පොලිස් නිලධාරීන් සේවයෙන් ඉවත් කිරීම පිළිබඳව අවශ්‍ය යෝජනාව පොලිස් දෙපාර්තමේන්තුවෙන් සකස් කර අමාත්‍යාංශයට යොමු කරන ලෙසය.

එසේම මෙම වසරේ විශාල පොලිස් නිලධාරීන් පිරිසක් විශ්‍රාම යන බවත් එබැවින් පොලිස් නිලධාරීන් 16000ක පමණ පුරප්පාඩු ප්‍රමාණයක් මේ වසරේ ඇති වන බව ද පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා පෙන්වා දී ඇත.

තවද පොලිස් නිලධාරීන් මත්ද්‍රව්‍ය භාවිත කිරීම පිළිබඳව වාර්තා වී ඇති සිද්ධි පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය. එසේම අන්තර්ජාලය භාවිත කරමින් පුද්ගල චරිත ඝාතනය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද මෙම කාරක සභාවේදී අවධානය යොමු විය.

එසේම අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය යන ආයතනවල වර්තමාන තත්ත්වය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය.

මෙම කාරක සභාව සඳහා රාජ්‍ය අමාත්‍යවරුන් වන ජගත් පුෂ්පකුමාර, ලොහාන් රත්වත්තේ, ශාන්ත බණ්ඩාර, මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා, ජානක වක්කුඹුර යන මහත්වරු ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මධුර විතානගේ, මහින්දානන්ද අලුත්ගමගේ, චන්දිම වීරක්කොඩි, චින්තන අමල් මායාදුන්න, ඩී. වීරසිංහ, අසංක නවරත්න, ගයාශාන් නවනන්ද සහ උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ යන මහත්වරු ද සහභාගී වූහ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now