මන්ත්‍රීවරුන් 22 දෙනෙකුට මරණ තර්ජන - දැඩි ආන්දෝලනාත්මක කතාවක් එලියට
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 22 දෙනෙකුගේ ජීවිතවලට තර්ජන එල්ල වී ඇති බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහ්මාන් මහතා ප්‍රකාශ කර තිබේ.
මෙම තර්ජන සම්බන්ධයෙන් තොරතුරු ලැබීමෙන් පසු, එම මන්ත්‍රීවරුන්ගේ නම් වහාම රටට දැනුම්දීමට කටයුතු කරන ලෙස කථානායක ජගත් වික්‍රමරත්න මහතාගෙන් ඉල්ලා සිටින බවද ඔහු අවධාරණය කරයි.
විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම ඊයේ (19) කථානායකවරයා හමුවී මෙම තර්ජන පිළිබඳව නිල වශයෙන් දැනුම්දී ඇත.
මෙය මහජන නියෝජිතයින්ගේ ආරක්ෂාවට විශේෂ අවධානයක් යොමු කළ යුතු කාලයක් බවත්, කථානායකවරයාගේ වගකීම ඉතා වැදගත් බවත් මුජිබර් රහ්මාන් මහතා පෙන්වා දෙයි.
තමන්ට ලැබුණු තර්ජන පිළිබඳව පොලිසියට පැමිණිලි කළද, මෙතෙක් කිසිදු ආරක්ෂාවක් ලබාදී නොමැති බවද ඔහු කියා සිටියි.
පොලිස්පතිවරයා මීට පෙර පක්ෂ නායකයින් හමුවූ අවස්ථාවේදී මන්ත්‍රීවරුන්ගේ සහ මෙම 22 දෙනාගේ ආරක්ෂාව පිළිබඳව දැනුම්දී ඇති බවද මුජිබර් රහ්මාන් මහතා සඳහන් කරයි.
මෙවැනි තර්ජන රටේ ප්රජාතන්ත්රවාදයට සහ නීතියේ ආධිපත්‍යයට බරපතල අභියෝගයක් එල්ල කරන බවත්, මහජන නියෝජිතයින්ගේ ආරක්ෂාව සහතික කිරීමට වහාම පියවර ගැනීමේ අවශ්‍යතාව තිබෙන බවත් ඔහු අවධාරණය කළේය.
තර්ජනයට ලක්ව ඇති මන්ත්‍රීවරුන්ගේ නම් ප්‍රසිද්ධ කිරීම සහ ඔවුන්ට අවශ්‍ය ආරක්ෂාව සැපයීම රජයේ සහ ආරක්ෂක අංශවල අනිවාර්ය වගකීමක් බවද මුජිබර් රහ්මාන් මහතා පැවසීය.