රුසියාව යුද්ධය ප්‍රකාශ කරයි..නියෝගයෙන් පසු යුක්‍රේනයට මිසයිල වරුසාවක්..ඇමරිකාවත් පැටලෙයි!!(VIDEO)

Attack Ukraine England American Russian war
By Aruna Feb 24, 2022 06:39 AM GMT
Aruna

Aruna

Report

රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමේ නියෝග නිකුත් කර තිබෙනවා.

රුසියානු ජනාධිපතිවරයා එරට වේලාවෙන් උදෑසන 5.05 ට ජාතිය අමතමින් කියා සිටියේ යුක්රේනයේ ඩොන්බාස් කලාපය තුල විශේෂ මෙහෙයුම් දියත් කිරිමට තමන් හමුදාවන්ට නියෝග නිකුත් කළ බවයි.

තමන්ට අවශ්‍ය භුමිය අත්පත්කර ගැනීමක් නොව එහි සිටින සන්නද්ධ කණ්ඩායම් නිරායුධ කිරිම පමණක් බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

" අවි බිම තබා ගෙදර යන්න" යැයි මෙහිදී රුසියානු ජනාධිපතිවරයා විසින් යුක්රේන හමුදා සාමාජිකයින්ට සිය කතාවේදී දැනුම් දී සිටියා.

එමෙන්ම තමන්ට එරෙහිව නැගී සිටින ඕනෑම රටකට දැඩි විපාක අත්විදිමට සිදුවෙනු ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

රුසියානු ජනාධිපතිවරයා ජාතිය අමතා සුළු මොහොතකින් Kiev, Mariupol, Kharkiv සහ Odessa යන ප්‍රදේශවල ප්‍රබල පිපිරීම් රැසක් සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

ඊයේ දිනයේදී යුක්රේන පාර්ලිමේන්තුව විසින් මසක කාලයක් සඳහා එරටට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරනු ලැබූ අතර ලක්ෂ 02 කට ආසන්න හදිසි හමුදාවක් කැඳවනු ලැබුවා.

මිට අමතරව සියලුම යුක්රේනුවන්ට අවි දැරීමේ අවසරය ද ඊයේ දිනයේදී නිකුත් කරනු ලැබූ බවයි වාර්තා වන්නේ.

මේ අතර යුක්රේන ජනාධිපති Volodymyr Zelensky රුසියානු ජනපතිගේ ප්‍රකාශයට පිළිතුරු දෙමින් කියා සිටියේ රුසියාවේ ආක්‍රමණයට එරෙහිව සිය ජනතාව සටන් වැදෙනු ඇති බවයි. "

ඔබලා පැමිණි විට අපගේ පිටුපස නොව මුහුණට මුහුණ දැකීමට හැකිවෙනු ඇති" යැයි යුක්රේන ජනපති සඳහන් කර සිටිනවා.

මේ අතර රුසියාවේ යුදමය තීරණය ගැන අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අදහස් දක්වමින් කියා සිටියේ තමන් එය දැඩි සේ හෙළා දකින බවයි.

" ජනාධිපති පුටින් සැලසුම් සහගත ලෙස යුද්ධයක් තෝරා ගෙන ඇත.

එය මහත් ව්‍යවසනයක් ගෙන දෙනවා පමණක් නොව ජිවිත හානි රැසක් සිදුවෙනු ඇති.

මෙමගින් ඇතිවෙන සියලුම ජිවිත හානි සඳහා රුසියාව පමණක් වගකිව යුතුයි" අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියා.

මේ අතර රුසියාව විසින් යුක්රේනයේ හඳුනා ගත් හමුදා සහ හමුදා සැපයුම් මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් කෘස් මිසයිල ප්‍රහාර මාලාවක් දියත් කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

යුක්රේනයේ Kyiv පළාත තුල පිහිටි යුක්රේන හමුදා කඳවුරු කිහිපයකටම රුසියාව විසින් එල්ල කරනු ලැබූ මිසයිල ප්‍රහාර එල්ල වී ඇති බවයි සඳහන් වන්නේ.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරන්නේ සිය හමුදා යුක්රේනයේ හමුදා ඉලක්‌ක වලට පමණක් ප්‍රහාර එල්ල කරනු ලබන බවයි.

මේ අතර බෙලරුස් හි ස්ථාන ගත කර සිටින රුසියානු හමුදා භට පිරිස් මේ වන විට යුක්රේනයේ උතුරු දෙසින් ඉදිරියට ඇදෙමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

මේ අතර රුසියාව විසින් යුක්රේනයේ නැගෙනහිරින් පිහිටි නගර කිහිපයක වූ ගුවන් තොටුපොළවල් ආසන්නයට මිසයිල ප්‍රහාර එල්ල කර ඇති බවද එරට බලධාරීන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා.

මේ අතර රුසියානු ගුවන් යානා ද යුක්රේන මෙහෙයුම් සඳහා යොදා ගැනෙන බවට වාර්තා ලැබී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now