රත්‍රං, ඉඩම්, නිවාස සහ වාහන 142ක් ඇතුළු රුපියල් මිලියන 6,000ක වත්කම් තහනමට- නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයෙන් විශේෂ මෙහෙයුමක්
සංවිධානාත්මක අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට අයත් රුපියල් මිලියන 6,000කට ආසන්න දේපළ හා වත්කම් තහනම් කර ඇති බව නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පවසයි.
2024 සැප්තැම්බර් 21 වැනිදා සිට මේ දක්වා විවිධ අපරාධ සම්බන්ධයෙන් සැකකරුවන් 66 දෙනෙකු මෙරටට රැගෙනවිත් ඇති බවද එම කොට්ඨාසය සඳහන් කරයි. සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ සැකකරුවන්ට අදාළ විමර්ශන 113ක් යටතේ මෙම දේපළ හා වත්කම් තහනම් කර තිබේ.
ඒ අනුව, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට අයත් බවට හඳුනාගෙන ඇති සැකකරුවන් 102 දෙනෙකුගේ රුපියල් මිලියන 5,423ක් පමණ වටිනා දේපළ තහනම් කර ඇති අතර, සංවිධානාත්මක අපරාධකරුවන් තිදෙනෙකුට අයත් රුපියල් මිලියන 209ක් පමණ වටිනා දේපළද ඊට ඇතුළත්ය.
මීට අමතරව, පිරමීඩ වංචා සහ පුපුරණ ද්‍රව්‍ය සම්බන්ධ වැරදිවලට චෝදනා ලැබූ පුද්ගලයින් අට දෙනෙකුට අයත් රුපියල් මිලියන 367ක් පමණ වටිනා දේපළද තහනම් කර තිබේ.
තහනම් කළ වත්කම් අතර රත්‍රං කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 140ක්, අක්කර 136ක පමණ ඉඩම්, නිවාස 55ක් සහ වාහන 142ක් ඇතුළත් බව සඳහන් වේ. මේ අතර, 2024 සැප්තැම්බර් 21 වැනිදා සිට මෙරටට රැගෙන ආ සැකකරුවන් 66 දෙනා අතර ජාත්‍යන්තර පොලිසිය විසින් රතු නිවේදන නිකුත් කර තිබූ සැකකරුවන් 28 දෙනෙකුද සිටින බව අනාවරණය වී තිබේ.
රතු නිවේදන නොමැති සැකකරුවන් සංඛ්‍යාව 38කි. 2024 සැප්තැම්බර් මාසයෙන් පසු ජාත්‍යන්තර පොලිසිය හරහා සැකකරුවන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා නව රතු නිවේදන 110ක් ලබාගෙන ඇති බවද පොලිසිය පවසයි.
අගෝස්තු 18 වැනිදා වන විට ශ්‍රී ලංකා පොලිසිය විසින් නිකුත් කර ඇති සමස්ත රතු නිවේදන සංඛ්‍යාව 236ක් බව සඳහන් වේ. එම රතු නිවේදන අතරින් 96ක් සංවිධානාත්මක අපරාධකරුවන් සම්බන්ධයෙන් ලබාගෙන ඇති අතර, ඉන් සැකකරුවන් 35 දෙනෙකු මේ වන විට සිටින රටවල් හඳුනාගෙන තිබේ.
ඒ අනුව, සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් අවශ්‍යව සිටින සැකකරුවන් 18 දෙනෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ 11 දෙනෙකු ඉන්දියාවේ සැඟවී සිටින බවට තොරතුරු අනාවරණය වී ඇත. එක්සත් රාජධානිය, ප්‍රංශය, රුසියාව, කැනඩාව සහ ඉතාලිය යන රටවලද එවැනි එක් සැකකරුවෙකු බැගින් සිටින බව අදාළ පොලිස් වාර්තාවල දැක්වේ.