පොළොන්නරුවේ ජලාශවල ජල මට්ටම් සීඝ්‍රයෙන් පහතට
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දෙවැනි විශාලම ජලාශය වන මින්නේරිය වැවේ ජල මට්ටම මේ වන විට 36% දක්වා සීඝ්‍රයෙන් පහත වැටී තිබේ.
අක්කර අඩි 110,000ක පමණ සමස්ත ධාරිතාවකින් යුත් මින්නේරිය ජලාශයේ වත්මන් ජල මට්ටම අක්කර අඩි 40,000 දක්වා අඩුවී ඇති අතර, පවතින තත්ත්වය හමුවේ මෙවර යල කන්නයේ වගාවන් සඳහා ජලය නිකුත් කිරීම තවත් දින දෙකකින් අවසන් කිරීමට නියමිත බව වාරිමාර්ග නිලධාරීහු පවසති.
මේ අතර පොළොන්නරුවේ විශාලම ජලාශය වන පරාක්‍රම සමුද්‍රයේ ද ජල මට්ටම සැලකිය යුතු ලෙස පහත බැස ඇත. අක්කර අඩි 116,000ක සමස්ත ධාරිතාවෙන් මේ වන විට ඉතිරිව ඇත්තේ අක්කර අඩි 63,000ක් (56%) පමණක් වන අතර, එම ජලාශයෙන් ද යල කන්නය සඳහා ජලය මුදා හැරීම දැනටමත් අවසන් කර තිබේ.
මීට අමතරව, අක්කර අඩි 21,600ක ධාරිතාවෙන් යුත් ගිරිතලේ ජලාශයේ ජල ප්‍රමාණය ද අක්කර අඩි 8,500 දක්වා අඩුවී ඇති අතර, එම ජලාශයෙන් ද යල කන්නයේ ජල නිකුතුව මේ වන විට නවත්වා ඇත.