බදුල්ල දක්වා දුම්රිය ධාවනය හෙට සිට
දිට්වා සුළි කුණාටුවේ බලපෑමෙන් හානියට පත්ව තිබූ නානුඔය සහ අඹේවෙල අතර දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව, උඩරට දුම්රිය මාර්ගයේ නානුඔය සිට බදුල්ල දක්වා දුම්රිය ධාවනය හෙට (20) සිට යළි ආරම්භ කරන බව දුම්රිය අධිකාරි (ගමනාගමන) ජී. ඩී. ඒ. සමරසිංහ මහතා පවසයි.
දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නානුඔය සහ අඹේවෙල අතර සැතපුම් 134 දම්වැල් 78 ස්ථානයේ දුම්රිය මාර්ගය නායයෑමකින් දැඩි ලෙස හානියට පත්ව තිබූ බවයි. එහිදී අඩි 65ක පමණ ගැඹුරකින්, අඩි 100ක පමණ පළලකින් සහ අඩි 120ක පමණ දිගකින් මාර්ග කොටස විනාශ වී තිබුණි.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ උපදෙස් හා අධීක්ෂණය යටතේ, එම ආයතනයේ නිලධාරීන් සමඟ එක්ව දුම්රිය දෙපාර්තමේන්තුවේ මාර්ග හා කර්මාන්ත අංශයේ සේවකයින් අයහපත් කාලගුණික තත්ත්වයන් මධ්‍යයේ ප්‍රතිසංස්කරණ කටයුතු සාර්ථකව නිම කර ඇති බව ද වාර්තා වේ.
දිනපතා දුම්රිය ගමන් වාර හතරක්
නව සැලැස්මට අනුව, නානුඔය සහ බදුල්ල අතර දිනපතා දුම්රිය ගමන් වාර හතරක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
අංක 1005 දරණ දුම්රිය නානුඔය සිට පෙරවරු 9.00ට බදුල්ල බලා පිටත්වේ.
අංක 1006 දරණ දුම්රිය බදුල්ල සිට පස්වරු 3.00ට නානුඔය බලා ධාවනය කෙරේ.
අංක 1015 දරණ දුම්රිය නානුඔය සිට පස්වරු 2.30ට බදුල්ල බලා ධාවනය කෙරේ.
අංක 1016 දරණ දුම්රිය බදුල්ල සිට පෙරවරු 9.00ට නානුඔය බලා ගමන් ආරම්භ කරයි.
කෙසේ වෙතත්, අංක 1015 සහ 1016 දරණ දුම්රියන් බදාදා දිනවල ධාවනය නොකෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
සංචාරකයින් අතර ජනප්‍රිය “ඇල්ල ඔඩිසි” විශේෂ දුම්රිය ද සතියේ සෑම බදාදා දිනකම ධාවනය කිරීමට නියමිතය.
ඒ අනුව, එම දුම්රිය බදුල්ල සිට නානුඔය දක්වා පෙරවරු 7.45ටත්, නානුඔය සිට බදුල්ල දක්වා පස්වරු 1.00ටත් ධාවනය කෙරෙනු ඇත.
දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමත් සමඟ උඩරට මාර්ගයේ ගමන් කරන මගීන්ට සහ සංචාරකයින්ට නැවතත් සාමාන්‍ය දුම්රිය සේවා ලබාගැනීමේ අවස්ථාව හිමි වනු ඇත.