තෙල්දෙණියෙන් හමුවූ කාන්තා මළ සිරුරේ සුලමුල හෙළිවෙයි - තරුණිය දින 3ක් කාලා නෑ අයියට කෝල් කරලා විස්තරේ කියලා [PHOTOS]
තෙල්දෙණිය ප්‍රදේශයේ සැකකටයුතු ලෙස නවතා තිබූ මෝටර් රථයක් තුළ තිබී තරුණ කාන්තාවකගේ මළ සිරුරක් සොයාගැනීමේ අභිරහස් සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට කරුණු රැසක් අනාවරණය කරගැනීමට පොලීසිය සමත්ව තිබේ.
මෙලෙස අවාසනාවන්ත ලෙස මරණයට පත්ව ඇත්තේ අම්පාර මහ රෝහලේ සේවය කරන ශම්‍යා දර්ශනී නමැති 34 හැවිරිදි භෞත චිකිත්සකවරියක් වන අතර, ඇයගේ පෙම්වතා විසින් මෙම මළ සිරුර මෝටර් රථය තුළ දමා පලාගොස් ඇති බව පොලීසිය පවසයි.
සැකකාර පෙම්වතා මහනුවර, ගන්නෝරුව ප්‍රදේශයේ පදිංචි මෘදුකාංග ඉංජිනේරුවෙකු වන දිනෙත් දිසානායක නැමැත්තා වන අතර, ඔහු මේ වනවිට ප්‍රදේශයෙන් සම්පූර්ණයෙන්ම පලාගොස් තිබීම හේතුවෙන් ඔහුව කඩිනමින් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මේ වන විට මහජන සහාය පතා තිබේ.
පොලිස් වාර්තාවලට අනුව කොටවැව, තලාව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ඊයේ 17 වැනිදා උදෑසන නුවරඑළිය පොලිසියට පැමිණිල්ලක් කරමින් පවසා ඇත්තේ සිය නැගණිය නුවරඑළියේ පිහිටි මහල් නිවසක නේවාසිකව රැඳී සිටින බවත්, ඇය දින ගණනාවකින් නිසි පරිදි ආහාරගෙන නොමැති බැවින් එම ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමට පොලිස් සහය අවශ්‍ය බවත්ය.
ඒ අනුව නුවරඑළිය පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් අදාළ මහල් නිවාසයට ගොස් එය පරීක්ෂාකර ඇතත් එහි කිසිවෙකුත් සිට නොමැත. කෙසේ නමුත් එහි තිබූ සීසීටීවී දර්ශන ඉතාමත් සියුම් ලෙස පරීක්ෂාකිරීමේදී එහි සටහන්ව තිබී ඇත්තේ, ඉකුත් 16 වැනිදා රාත්‍රී 9.50 ට පමණ එම නිවසට අදාළ තරුණියගේ පෙම්වතා පැමිණෙන ආකාරයයි.
එහි මිනිත්තු 40 ක පමණ කාලයක් රැඳී සිටි අදාළ පුද්ගලයා පසුව රාත්‍රී 10.30 ට පමණ සිහිසුන්වී සිටි තරුණියව තනිවම ඔසවාගෙන ගොස් මෝටර් රථයක දමා රැගෙන ගොස් ඇති බව එහි පැහැදිලිවම සටහන්ව තිබේ.
නුවරඑළිය පොලිසිය අදාළ තරුණියගේ මෙම අභිරහස් අතුරුදන්වීම සම්බන්ධයෙන් වහාම දිවයිනේ සියලුම පොලිස් ස්ථාන දැනුම්වත් කර ඇති පසුබිමක, තෙල්දෙණිය පොලිසියේ ස්ථානාධිපතිවරයාට නාඳුනන පුද්ගලයෙකුගෙන් අද්භූත දුරකථන ඇමතුමක් ලැබී තිබේ. එහිදී එම පුද්ගලයා පවසා ඇත්තේ තෙල්දෙණිය මූලික රෝහල අසල නිල රථගාලෙහි නවතා ඇති මෝටර් රථයක මියගිය කාන්තාවකගේ මළ සිරුරක් පවතින බවය.
ඒ අනුව තෙල්දෙණිය පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ක්ෂණිකව ගොස් පරීක්ෂා කිරීමේදී අදාළ මෝටර් රථයේ ඉදිරිපස මගී අසුන දිගහැර කළු පැහැති රෙද්දකින් සම්පූර්ණයෙන්ම වසා දමා තිබූ මළ සිරුර සොයාගැනීමට හැකිවී තිබේ.
පසුව අගුලු දමා තිබූ රථයේ දොරටුව විවෘත කළ පොලිස් නිලධාරීන් මෘත ශරීරය ඉන් පිටතට ගෙන සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ, අදාළ සිරුර නුවරඑළිය ප්‍රදේශයෙන් අතුරුදන් වූ ශම්‍යා දර්ශනී නමැති 34 හැවිරිදි භෞත චිකිත්සකවරියගේ බවටය.
වැඩිදුර පොලිස් විමර්ශනවලදී හෙළිවී ඇත්තේ, ඇයගේ පෙම්වතා විසින්ම මළ සිරුර මෙම ස්ථානයට ගෙනැවිත් දමා පසුව තෙල්දෙණිය පොලිසියේ ස්ථානාධිපතිවරයාට ව්‍යාජ තොරතුරක් ලබාදෙමින් දුරකථන ඇමතුමද ලබාදී ඇති බවය. මොවුන් දෙදෙනා මීට මාස 8 කට පමණ ඉහතදී මෙම ප්‍රේම සබඳතාව ආරම්භ කර ඇති බව පොලිසිය පවසයි.
අදාළ තරුණිය සිය මෘදුකාංග ඉංජිනේරු පෙම්වතා සමග කැනඩාවට යෑමේ දැඩි අපේක්ෂාවෙන් රුපියල් කෝටි 1.5 ක පමණ අතිවිශාල මුදලක් බැංකුවකින් හා ප්‍රදේශයේ පුද්ගලයන් කිහිපදෙනෙකුගෙන් ඉහළ පොලී මත ලබාගෙන පෙම්වතා වෙත විශ්වාසයෙන් ලබාදී තිබේ. කෙසේවෙතත් මේ දක්වා ඔවුන්ගේ විදේශගතවීම සිදුවී නොමැති පසුබිමක, ණයහිමියන් මුදල් නැවත ඉල්ලමින් දිගින් දිගටම බලපෑම් කිරීම මත ඇය මෑතකදී දැඩි ලෙස මානසික පීඩනයකට ලක්ව සිට ඇති බවයි පොලිසිය පවසන්නේ. එවන් පසුබිමක ඇය නුවරඑළියේ පිහිටි නිවාස සංකීර්ණයට තනිවම පැමිණ ඇත්තේ ඉකුත් ජූනි 3 වැනිදාය.
ඒ අතරතුර ඇය සිය සොහොයුරාට දුරකථනයෙන් අමතා තමන් දින 3 ක් තිස්සේ කිසිදු ආහාරයක් ලබාගෙන නොමැති බව පවසා ඇති අතර, අම්පාර රෝහලේ මානසික වෛද්‍යවරයෙකුට ද දුරකථනයෙන් අමතා තමන් දැඩි මානසික පීඩනයකින් පසුවන බව පවසා තිබේ.
එහිදී වෛද්‍යවරයා ඇයට උපදෙස් දී ඇත්තේ, කඩිනමින් ළඟම ඇති රෝහලට ගොස් මානසික වෛද්‍යවරයෙකු හමුවී ප්‍රතිකාර ලබාගන්නා ලෙසය.
කෙසේවෙතත් ඉකුත් 16 වැනිදා සවස 4 න් පමණ පසුව ඇයගේ ඡංගම දුරකථනය සම්පූර්ණයෙන්ම ක්‍රියාවිරහිතව තිබූ බැවින් ඇයගේ සහෝදරයා නුවරඑළිය පොලිසියට මෙම පැමිණිල්ල කර ඇත.
තෙල්දෙණිය කළඹපු ව්‍යායාම විශේෂඥවරිය මැරූ ඝාතකයා සොයා මෙහෙයුමක් - මොහුව දැක්කොත් වහාම පොලීසියට කියන්න
පොලිස් බුද්ධි අංශ සිදුකළ වැඩිදුර විමර්ශන වලදී අනාවරණ වී ඇත්තේ තරුණියගේ දේහය රැගෙන යාමට සැකකරු විසින් භාවිත කළ මෝටර් රථය, ඇයගේ පෙම්වතාට අම්පාර ප්‍රදේශයේ සිටින තවත් බාහිර පෙම්වතියකට අයත් නිල වාහනයක් බවය.
මේ අතර දේහය සම්බන්ධයෙන් සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව වෛද්‍යවරුන් විසින් දේහය පිළිබඳව විවෘත තීන්දුවක් ලබාදී ඇති අතර මෙය ඝාතනයක්ද නැතහොත් වස පානය කිරීමක් වැනි වෙනත් හේතුවක් මත සිදුවූ මරණයක්ද යන්න මෙතෙක් වෛද්‍ය විද්‍යාත්මකව තහවුරුවී නොමැත. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු නුවරඑළිය කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමරකෝන් බණ්ඩා මහතාගේ සෘජු අධීක්ෂණයෙන් ඉතාමත් විධිමත්ව ක්‍රියාත්මකය.





