ඊයේ හෝර්ටන් තැන්නට ගිය ජනපති අද දියතලාවට - ජනාධිපතිවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්.. (PHOTOS)

Ranil Wickremesinghe Sri Lanka Politician President of Sri lanka Presidential Update Latest Headlines
By krishani Dec 16, 2023 11:54 AM GMT
krishani

krishani

Report

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (16) පෙරවරුවේ දියතලාව ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨයේ කැඩෙට් නිලධාරීන්ගේ අධිකාරියට පත් කිරීමේ සහ විසිර යාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක් වීය.

ඊයේ හෝර්ටන් තැන්නට ගිය ජනපති අද දියතලාවට - ජනාධිපතිවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්.. (PHOTOS) | Ranil Wicramasinghe Announsment

එහිදී මෙරට ස්වෛරීභාවය ආරක්ෂා කිරීම සඳහා ආරක්ෂක හමුදාවට විශාල වගකීමක් පැවරෙන බවත් එයට අත තැබීමට හෝ සීමා කිරීමට කිසිවෙකුට ඉඩ දිය නොහැකි බවත් ඒ මහතා සඳහන් කළේ ය.

එමෙන්ම, ජනතා පරමාධිපත්‍ය හා ශ්‍රී ලාංකීය අනන්‍යතාව රැක ගැනීම ද ආරක්ෂක හමුදාවට පැවරෙන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා වර්ගවාදී සහ ආගම්වාදී ලෙස වෙන්ව ක්‍රියා කිරීමට කිසිවෙකු උත්සාහ කරන්නේ නම් එය ශ්‍රී ලාංකීය අනන්‍යතාවට සිදු කරන හානියක් බව ද පැවසීය.

දියතලාව යුද හමුදා විද්‍යා පීඨය වෙත පැමිණි සේනාධිනායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුදා උත්තමාචාර පිරිනමමින් අභිමානවත් අයුරින් පිළිගැනිණ.

ඊයේ හෝර්ටන් තැන්නට ගිය ජනපති අද දියතලාවට - ජනාධිපතිවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්.. (PHOTOS) | Ranil Wicramasinghe Announsment

ජාතියටත් ශ්‍රී ලංකා යුද හමුදාවටත් වීරෝධාර නායකයන් බිහිකළ යුද හමුදාවේ විශිෂ්ටතම නිලධාරී පුහුණු ආයතනය වන දියතලාව යුද හමුදා විද්‍යා පීඨයේ 98වන විසිරයාමේ පෙළපාලිය මෙය වේ.

එහි පුහුණුව නිම කළ කැඩෙට් නිලධාරීන් 274 දෙනෙකු අධිකාරියට පත් කිරීම අද දින සිදු කෙරිණු අතර විදේශ රටවල කැඩෙට් නිලධාරීන් 06 දෙනෙකු ද පුහුණුව ලබා අධිකාරියට පත්වීම විශේෂත්වයක් වේ.

කැඩෙට් නිලධාරීන්ගේ විසිර යාමේ පෙළපාලිය පරීක්ෂා කීරීමට සේනාධිනායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක් වීය.

එමෙන්ම, දක්ෂතම කැඩෙට් කණ්ඩායම වෙත ශූරතා පිළිගැන්වීම හා කැඩෙට් නිලධාරීන් වෙත අසිපත පිළිගැන්වීමද ජනාධිපතිවරයා අතින් සිදු විය.

ඊයේ හෝර්ටන් තැන්නට ගිය ජනපති අද දියතලාවට - ජනාධිපතිවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්.. (PHOTOS) | Ranil Wicramasinghe Announsment

අනතුරුව ජනාධිපතිවරයා විසිර ගිය කැඩෙට් නිලධාරී නිලධාරිනියන් සමඟ සමූහ ඡායාරූපයකටද එක් වූ අතර මෙම අවස්ථාව සනිටුහන් කරමින් දියතලාව යුද හමුදා විද්‍යා පීඨ පරිශ්‍රයේ නා පැළයක් රෝපණය කිරීමද ජනාධිපතිවරයා අතින් සිදු විය.

වැඩිදුරටත් අදහස් දැක් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

"දියතලාව යුද හමුදා විද්‍යා පීඨය ජාත්‍යන්තර කීර්තියක් අත්කරගත් ආයතනයක්. එවන් කීර්තිමත් ආයතනයකයි ඔබ පුහුණුව අවසන් කර තිබෙන්නේ. ඔබ සියලු දෙනාම අද සිට ශ්‍රී ලංකා යුද හමුදාවට එක්වෙනවා.

ශ්‍රී ලංකාව ස්වෛරි රාජ්‍යයක්. 1948 සිට අප ස්වෛරි රටක් ලෙස කටයුතු කරනවා. එම ස්වෛරි රටේ පරමාධිපත්‍ය ජනතාවට හිමියි. ආණ්ඩු තෝරාපත් කරගන්නේ සර්ව ජන ඡන්දයෙන්. ඒවගේම මේ රට ගොඩනැගී තිබෙන්නේ ශ්‍රී ලාංකික අනන්‍යතාව පදනම් කර ගනිමින්. අපි සියලුදෙනා ශ්‍රී ලාංකිකයෝ. ලාංකිකයන් ලෙස සිංහල, දෙමළ, මුස්ලිම් ජාතිකත්වය ආරක්ෂා කරගනිමින් අප සියලුදෙනා ශ්‍රී ලාංකිකයන් ලෙස රටේ අනන්‍යතාව ආරක්ෂා කර ගැනීමට කටයුතු කළ යුතුයි.

ඒ වගේම රටේ ආර්ථික වර්ධනය ඉහළ නංවාගත යුතුයි. රටක ආර්ථිකය කඩා වැටීමෙන් සිදු වන්නේ කුමක්ද කියා අප පසුගිය සමයේ අත්වින්දා. එවිට රටේ ස්වෛරීභාවය සීමා වෙනවා. රටේ ජනතාවට එක හා සමානව සැලකීමට නම් සමාජයීය දියුණුවක්ද තිබිය යුතුයි. ආර්ථික ප්‍රගතියත්, සමාජ ප්‍රගතියත් එහිදී ඉතා වැදගත් වෙනවා.

මෙම රාමුව තුළ අප ක්‍රියා කළයුතුයි. මෙම රාමුව ආරක්ෂා කිරීමට එක් එක් කණ්ඩායම්වලට වගකීම් පැවරෙනවා. ජනාධිපතිවරයාගේ සිට පහළට එම වගකීම විහිද යනවා. රටේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීම වෙනුවෙන් හමුදාවට විශාල වගකීමක් පැවරෙනවා. ඊට කිසිවෙකුට අත තැබීමටවත්, සීමා කිරීමටවත් අපට ඉඩ දෙන්න බැහැ. ඒ සමගම ජනතා පරිමාධිපත්‍ය ආරක්ෂා කර ගත යුතුයි.

එසේම ශ්‍රී ලාංකීය අනන්‍යතාව ආරක්ෂා කළ යුතුයි. කිසිවෙකු එම අනන්‍යතාව බිඳ දැමීමට උත්සහ කරනවා නම් හෝ වර්ගවාදී සහ ආගම්වාදී ලෙස වෙනම කටයුතු කිරීමට උත්සාහ කරනවා නම් එය ශ්‍රී ලාංකීය අනන්‍යතාවයට වන හානියක්. ශ්‍රී ලංකා යුද හමුදාවට විශිෂ්ඨ ඉතිහාසයක් තිබෙනවා. ආසියාවේ නවීන යුද්ධ හමුදා ආරම්භ කරන අවස්ථාවේ හතර වන ස්ථානය හිමි වූයේ ශ්‍රී ලංකාවට.

1881 ලංකා පාබල හමුදාව ආරම්භ කිරීමෙන් අප එම ස්ථානයට පත් වුණා. ඒ වගේම අපේ ආරක්ෂක හමුදාව ඉතිහාසයේ පැවති සෑම ප්‍රධාන යුද්ධයකටම සහභාගී වී තිබෙනවා. මෙම අභිමානවත් හමුදාවේ ගෞරවය ආරක්ෂා කරමින් ක්‍රියා කිරීමේ වගකීම ඔබට පැවරෙනවා. ඔබ තේරී පත්වී සිටින්නේ නායකත්වය ලබාදීම සඳහා.

තමන් යටතේ සිටින සියලු දෙනාට නොබියව එම නායකත්වය ලබා දෙන්න. තමන්ගේ වගකීම් පැහැර හරින්න එපා. විශේෂයෙන් අසීරු අවස්ථාවලදී තමයි නායකත්වය ඉදිරියට ගත යුත්තේ. එම වගකීම මතක තබා ගෙන රට වෙනුවෙන් වගකීම ඉටු කරන ලෙස මම සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා." යනුවෙන් ය.

කෙසේ වෙතත්, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, යුද හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ, දියතලාව යුද හමුදා විද්‍යා පීඨයේ සේනාවිධායක මේජර් ජෙනරල් තුෂාර මහලේකම් යන මහත්වරුන් ද, යුද හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරිහු සහ විසිර ගිය කැඩෙට් නිලධාරීන්ගේ දෙමාපියන් ඇතුළු ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක් වීය.

GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha